අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර විනාශයට එරෙහිව රජය දැඩි ප‍්‍රතිපත්තියක - ජනපති

    ඔක්තෝබර් 18, 2016
    පරිසර විනාශයත් සමග ඇතිවන ඛේදවාචකයන්ට අද අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙන ජනාධිපතිතුමා පරිසර විනාශයට එරෙහිව වත්මන් රජය අනුගමනය කරන්නේ දැඩි ප‍්‍රතිපත්තියක් බව අවධාරණය කරයි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (18) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවතී ශ්‍රී ලංකා නෙක්ස්ට් – නීල හරිත යුගයක්” සමාජගත කිරීමේ ප‍්‍රධාන උත්සවය අමතමිනි.
     
    පරිසරය විනාශ කිරීමට යම් ආයතනයක් හෝ පුද්ගලයින් කටයුතු කරනවානම් ඔවුන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කිරීමට රජය පසුබට නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා පසුගිය දිනවල දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් පිළිබඳ පරිසර අමාත්‍යවරයා ලෙස තමා දැඩි තීන්දු තීරණ ගත් බව ද කියා සිටියේය.
     
    පරිසර සංරක්ෂණය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය ආයතන සහ නිලධාරින් මේ පිළිබඳ දැඩි වගකීමකින් කටයුතු කළයුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රට, ජාතිය ගැන නොසිතා මුදල් පසු පස හඹා යන හොර ජාවාරම්කරුවන්ට එරෙහිව ඔවුන් අවංකව සිය වගකීම් ඉටුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
     
    2017 වසර රට දුගීභාවයෙන් නිදහස් කර ගැනීමේ වසර ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර එම සියලු කටයුතු කි‍්‍රයාත්මක කරන්නේ තිරසර සංවර්ධනයට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් බව පැවසූ ජනාධිපතිතුමා සියලු මානවයාගේ සහ සොබා දහමේ යහපැවැත්ම වෙනුවෙන් තිරසර සංවර්ධනයට ප‍්‍රමුඛතාවය දී කටයුතු කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණක් බවද කියා සිටියේය. බලශක්තිය පිළිබඳව තිබෙන ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිරියට යාමේදී ස්වාභාවික සම්පත් සමග එක්වීමේ වැදගත්කම රජය හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    ශී‍්‍ර ලංකාව නීල හරිත යුගයක් කරා ගමන් කිරීම සමාජගත කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් මේ දිනවලදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර පස් වැනි ආසියානු ශාන්තිකර කලාපීය දේශගුණ විපර්යාස පිළිබඳ අනුහුරුවීමේ සමුළුව විදේශ විද්‍යාඥයින් පන්සීයකගේ සහභාගිත්වයෙන් ඊයේ (17) ආරම්භ විය.
     
    ජගත් පර්යේෂණ සම්මන්ත‍්‍රණය, පාරිසරික චිත‍්‍රපට ප‍්‍රදර්ශනය, පාරිසරික නිර්මාණ ප‍්‍රදර්ශනය හා පාරිසරික නිපැයුම් ප‍්‍රදර්ශනය, විශේෂඥ කතිකාවත, දේශගුණ විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සංසදය හා පාරිසරික පර්යේෂණ සමුළුවක් ද මීට සමගාමිව අද සහ හෙට (19) පැවැත්වෙයි.
     
    අද පැවති ප‍්‍රධාන උත්සවයේ දී ජනාධිපති පාරිසරික සම්මාන හා හරිත සම්මාන 80 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රදානය කිරීම සිදු විය.
     
    හරිත දේශගුණික අරමුදලෙන් ඇමරිකන් ඩොලර් මිලියන 38.18 ක මුදලක් ශී‍්‍ර ලංකාව වෙත පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වූ අතර එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධීකාරක Una McCauley මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ආචාර්ය විශාඛා හිදැල්ලගේ මහත්මිය වෙත භාර දෙනු ලැබීය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
     
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය විසින් කාලගුණ විපර්යාස පිළිබඳ අලලා සම්පාදනය කරන ලද ප‍්‍රකාශයේ මංගල කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
     
    මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර එතෙර මෙතෙර පාරිසරික විද්වතුන් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya