අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය පාලනයේ නිසි අවධානය තිබුණේ නම් මොරගහකන්ද ව්‍යාපෘතිය අද විට ඵල දරා අවසන් - ජනපති

    ජූලි 26, 2016

    පසුගිය පාලන සමයේදී නිසි අවධානයක් සහ අනුග‍්‍රහයක් පැවතියේ නම් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ රජ රට ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට ඵල දරා අවසන් බව ජනපති පවසයි.

    රජ රට ජනතාවගේ කදුළු කථාව නිමා කරන මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය තම සිහිනය වූ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා නොයෙකුත් අභියෝග සහ අමිහිරි අත්දැකීම් රැසක් හමුවේ වුවද අද එය ජය ගැනීමට හැකිවීම දෛවෝපගත සිදුවීමක් බව ද කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධනය ව්‍යාපෘතියේ කළුගඟ ප‍්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවයට ඊයේ (25) එක් වෙමිනි.

    පසුගිය රජය මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු ප‍්‍රමාද කරමින් තමා සමඟ තිබූ ගැටළුවට රජ රට ජනතාවගෙන් පළිගත් බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයට පත්වීමත් සමග රජ රට අහිංසක ගොවි ජනතාවගේ බලාපොරොත්තු යළි පුබුදුවමින් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කළ බව ද කියා සිටියේය.

    අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මොරගහකන්ද- කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළුගඟ ප‍්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ කුමන අභියෝග පැමිණියද නව රජයේ වැඩපිළිවෙළ ආපසු නොහරවන බවයි.

    කුමන අභියෝග හමුවේ වුව ද රටේ සංවර්ධනය සඳහා ඉදිරි පස් වසර තුළ කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ගොවි ජනතාව ප‍්‍රමුඛ සමස්ථ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් හෙට උපදින දරුවන් වෙනුවෙන් වාසනාවන්ත සමෘද්ධිමත් රටක් ගොඩනැ`ගීම රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya