අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති රොටරි සමාජ ජාත්‍යන්තර සමුළුව අමතයි

    මැයි 30, 2016

    රොටරි සමාජය වැනි ජාත්‍යන්තර සේවා සංවිධානයන්ට ආණ්ඩුවක් පය ගැසීමට බිය වන තැන්වලට යෑමටත්, වෙනත් කිසිවෙකුට අත පෙවිය නොහැකි තැන් ස්පර්ශ කිරීමටත් හැකියාව ඇති බැවින්, එවැනි සංවිධානයන්ගේ හවුල්කාරීත්වය ලබා ජනතාවට වඩාත් පුළුල් සේවාවක් ඉටු කිරීමට ලෝකයේ ආණ්ඩු කටයතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජාත්‍යන්තර රොටරි සමාජයේ 107 වන ජාත්‍යන්තර සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ සේවා සංවිධාන සමඟ හවුලේ කටයුතු කිරීම හෝ යම් යම් සේවාවන් ඉටු කිරීම සඳහා සේවා සංවිධානවල සේවය වෘත්තීයමය පදනමින් ලබා ගැනීම වැනි පියවර පිළිබඳව අලුතින්  සිතා බැලිය යුතු බවය. ඒ ඔස්සේ සුබසාධන සේවා වඩාත් අඩු පිරිවැයකින් සිදු කිරීමේ ක්‍රමවේදයක් සකසා ගත හැකි බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

     

    ලෝකය පුරා සිටින රොටරි සාමාජිකයන් පණස් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 107 වන ජාත්‍යන්තර රොටරි සමුළුව මැයි 29 වන දා දකුණු කොරියාවේ සියොල් පුරවරයේ ගොයං නගරයේ පිහිටි කොරියා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණු අතර, විශේෂ ආරාධිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ගරු හ්වං ක්යොආන් මහත්වරුන්ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් මහතා ද රොටරි සාමාජිකයෙකු ලෙස මේ අවස්ථාවට එක් විය.

     

    රොටරි සමුළුවේ සමාරම්භක උත්සවය ඉතා විචිත්‍රවත් හා අභිමානවත් අන්දමින් ඇරඹුණේ කොරියානු සංස්කෘතියේ කැපී පෙනුණු අංගයක් වන සටන් කලා පදනම් කර ගත් සංදර්ශනයකිනි. ඉන් පසු වත්මන් රොටරි සභාපති කේ ආර් රවීන්ද්‍රන් මහතා සිය සාමාජිකයන් පිළිගනිමින් අදහස් දැක්වීය.


    මෙහිදී විශේෂත්වයක් වූයේ රොටරි සංවිධානයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත පෝල් පී හැරිස් මහතා නවීන තාක්‍ෂණ ක්‍රමවේදයන් ඔස්සේ වේදිකාව මත සජීවී ලෙස මවා පෙන්වීමයි. හැරිස් මහතා සහ රවීන්ද්‍රන් මහතා අදහස් හුවමාරු කර ගන්නා අයුරින් මේ අවස්ථාව නිරූපණය විණි.

    ඉන් අනතුරුව රොටරි ජාත්‍යන්තරයට සම්බන්ධ රටවල් 200 ක ජාතික ධජ හඳුන්වා දුන් අතර අවසානයේ දකුණු කොරියානු සහ ශ්‍රී ලංකා ජාතික ගීත ගායනා කෙරිණි.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් මහත්වරුන් සභාව ඇමතීමෙන් පසුව මුඛ්‍ය දේශනය පැවැත්වුණු අතර, ඒ සඳහා වික්‍රමසිංහ මහතා වේදිකාවට පැමිණෙද්දී රැස්ව සිටි සියලු දෙනා අසුන්වලින් නැගිට ගෞරවය පළ කළහ.

     

    සිය දේශනයේදී වික්‍රමසිංහ මහතා අධාරණය කළ විශේෂ කරුණක් වූයේ ආණ්ඩු යන්ත්‍රණයේදී මෙන්ම, සේවා සංවිධාන ක්‍රියාවලියේදී ද කාන්තා හා තරුණ සහභාගීත්වයේ අවශ්‍යතාවයයි. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා වූ සෑම තලයකදීම ක්‍රියාකාරී කාන්තා සහභාගීත්වයක් ලබා ගැනීම පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අතිශය වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    රොටරි සමාජයේ ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව මෙසේය.

     

     “2016 ජාත්‍යන්තර රොටරි සමුළුවෙහි ආරම්භක උත්සවයට එක්වීම සඳහා සියොල් නගරයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබට කෘතඥතාවය පළ කරන්නට කැමතියි.

     

    මෙහි පැමිණෙන්නට ලැබීම ගෞරවයක් වගේම ඔබේ සුවිසල් සංවිධානයේ මේ වසරේ නායකත්වය දැරීම පිණිස, අපේ කුඩා රටෙහි තැනැත්තක් තෝරා ගෙන තිබීම ශ්‍රී ලංකාවේ අපට මහත් ආඩම්බරයක් සහ අභිමානයක්.

     

    ශ්‍රී ලංකාවේ අපට පෝලියෝ රෝග තර්ජනයක් නැහැ. දැනට දශක දෙකකට අධික කාලයක් තිස්සේ අපේ රටෙන් පෝලියෝ රෝගීන් වාර්තා වී නැහැ. ත්‍රස්තවාදයට එරෙහි සන්නද්ධ අරගලයක දරුණු ලෙස ගැලී සිටින අතරම අපට පෝලියෝ රෝගය රටින් තුරන් කිරීමට හැකි වුණා. එකී කාර්යය සාර්ථකව ඉටු කරගන්නට හැකි වූයේ රොටරි සමාජයේ දායකත්වය  නිසයි. විශේෂයෙන් එවක ශ්‍රී ලංකාවේ රොටරි සාමාජිකයන් කළ කාර්යභාරය නිසයි. රොටරි සමාජයේ සභාපති රවීන්ද්‍රන්ගෙන් ඊට ලැබුණු අනුග්‍රහය ද සුවිශාලයි.

     

    වර්ෂ 1995 දී යුනිසෙෆ් සංවිධානයත් සමග රොටරි සාමාජිකයන් කිහිප දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ ජාතික ප්‍රතිශක්තිකරණ දිනයක් සංවිධානය කිරීමටයි. එකී කාර්යය උදෙසා ඩොලර් මිලියන එකහමාරක් ලබා දීමට ඔවුන් පොරොන්දු වුණා. එක්වර මුළු රටටම පෝලියෝ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල රජයෙන් දරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එකී අදහස යහපත් එකක් වශයෙන් සතුටින් භාරගත්තා. නමුත් උතුරු නැගෙනහිර ගැටුම් සහිත කලාපය තුළ රජයේ පාලනයක් නැති නිසා, ඒ ප්‍රදේශයන් තුළ කටයුතු සංවිධානය කිරීම ප්‍රායෝගික නොවන බව නිලධාරීන් පෙන්වා දුන්නා. ඒ නිසා ගැටුම් පවතින ප්‍රදේශ හැර අනෙක් සියළුම ප්‍රදේශවල දරුවන්ට එන්නත ලබා දීමට කටයුතු කළ හැකි බව ඔවුන් පැවසුවා.

     

     

    නමුත් රොටරි සාමාජිකයන් ඊට එකඟ වුණේ නැහැ. ඔවුන් කියා සිටියේ මේ ව්‍යාපෘතිය සඳහා රොටරි සමාජයේ මුදල් වියදම් කරන නිසා, එය රටේ එක් කොටසකට පමණක් වැය කිරීම සුදුසු නැති බවයි.

     

    රොටරි සාමාජිකයන්ගේ ඔළුව හොඳ නැති බවක් අමාත්‍යාංශ නිලධාරින්ට දැනුණා.  “ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේ රටේ යුද්ධයක් තිබෙනවා. අපට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාලනයක් නැහැ. ඉතින් ඔයාලා මොකක්ද අපට කරන්න කියන්නේ?” ඔවුන් ඇසුවා.

    එවිට රොටරි සභාපති මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා.  “ඒ ගැන වද වෙන්න එපා. යුද්ධය ගැන අපි බලාගන්නම්”

    අන්තිමේදී සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ඔවුන්ට එකඟ වුණා. ඔබලාට යුද්ධය නවත්වන්නට හැකි නම්, මුළු රටේම දරුවන් එන්නත් කිරීමට තමන්ට හැකි බව බලධාරීන් කීවා.

     

    ඉන් මාස දෙක තුනකට පසු රොටරි සභාපති රවීන්ද්‍රන් පැමිණියේ තමාගේ කාර්යාලටත්, යුනිසෙෆ් කාර්යාලයටත් ලැබුණු ලිපියක්ද සමඟයි. එය එවා තිබුණේ උතුරු ප්‍රදේශයේ එල් ටී ටී ඊ සංවිධානයයි. ඒ ලිපියේ මෙන්න මෙහෙම සඳහන්ව තිබුණා.  “ජාතික ප්‍රතිශක්තිකරණ දිනයේ දී ඔබේ රජය අවි බිම තබන්නට සූදානම් නම්, අපත් අවි බිම තබා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම්.”

     

    ඒ අනුව සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා. ඔවුන් අවි බිම තැබුවා. අපත් අවි බිම තැබුවා. රොටරි සාමාජිකයන්, යුනිසෙෆ් – රතු කුරුස හා තවත් සෞඛ්‍ය ක්‍රියාකාරිකයන් ජීප් රථවල සුදු කොඩි ඔසවා ගෙන, මෙතෙක් කිසිවෙකු යන්නට බිය වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ට ගියා.
    එය සමත කාලයක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට පෝලියෝ රහිත ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට හැකිවුණා. මේ සමත කාල සීමාව සහ ජාතික ප්‍රතිශක්තිකරණ දිනය අපට ඊටත් ඔබ්බට ගිය තවත් යමක් පෙන්වා දුන්නා. අපට බලාපොරොත්තුවක් ලබා දුන්නා. අපි එකිනෙකා කෙරෙහි බියෙන් කටයුතු කරන පරිසරයක වුවත්, අප සියලු දෙනාම අපගේ දරුවන්ට ආදරය කරනා බවයි.

     

    ඔබේ සභාපති රවීන්ද්‍රන් නොමැති නම් මේ සම්මා ව්‍යායාමය සාර්ථක වන්නේ නැහැ. ගැටුම් පැවති ප්‍රදේශවල දරුවන් එන්නත් කරනු පිණිස සටන් විරාමයක් ඇති කරන්නට ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. ඔහු බලාපොරොත්තු අත හැරියේ නැහැ. හෘදයාංගම අවංකත්වයක් ප්‍රදර්ශනය කරමින් පෝලියෝ එන්නත් ව්‍යාපාරයට ඔහු උර දුන්නා. එවැනි පුද්ගලයන් මේ සමාජයේ විරළයි.

     

    ශ්‍රී ලංකාව ගැටුම් හා විපත් වලින් විඩාවට පත් වූ අවස්ථාවලදී ශ්‍රී ලංකා රොටරි සමාජය අපේ ජනතාවට අනුපමේය සේවාවක් සලසනු සඳහා පෙරමුණ ගත්තා. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු පාසල් 25 ක් හා මාතෘ රෝහලක් ඉදිකර දීමට රොටරි සමාජය උපකාර කළා. වත්මන් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ගංවතුර හා නායයාම් විපත් හමුවේ ද රොටරි සමාජය ජනතාවට ආධාර උපකාර කිරීමට ඉදිරියට පැමිණියා.


    රොටරි සමාජයක් සහිත ප්‍රජාවක් සහ රොටරි සමාජයක් සහිත රටක් එවැන්නක් නොමැති රටකට වඩා සෑම අතින්ම හොඳ බව අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා අපේ රටේ රොටරි සමාජය ක්‍රියාත්මක වීම අපට සතුටක්.

     

    රොටරි සමාජය හා වෙනත් එවැනි සේවා සංවිධාන ඕනෑම රටකට, ඕනෑම ප්‍රජාවකට අවශ්‍යවන්නා වූ දේ සපයනවා. සමහර විටෙක සංවර්ධන ක්‍රියාවලිය තුළ නොසළකා හැරෙන සමාජ අවශ්‍යතා ඔවුන් විසින් ඉටු කරනවා. රජයේ සේවාවන්ට එහා ගිය අනුපූරක සේවාවන් ඔවුන් ලබා දෙනවා. තමන්ගේ ප්‍රජා මට්ටම් වෙනස් කර ගැනීමට අවශ්‍ය ජනතාවට ඔවුන් මාර්ග විවර කර දෙනවා. අපට නම් එවැනි කටයුතු කිරීම සඳහා දේශපාලන බලය ලබා ගැනීමේ තරගයකට එක් විය යුතුයි. නමුත් ඔවුන්ට එහෙම නැහැ.

     

    සේවා සංවිධාන ඉටු කරන මෙවැනි ක්‍රියා මාර්ග නිසා ආණ්ඩුවක් වශයෙන් අපගේ වගකීම් සැහැල්ලු වෙන්නේ නම් නැහැ. ඇත්තෙන්ම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි.  මේ නිසා අපගේ රාජකාරිය වඩාත් හොඳින් ඉටු කිරීමට තව තව බලපෑම් එල්ල කෙරෙනවා.
    පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ ඔබේ ව්‍යාපෘතිය ඉතා වැදගත්. ලෝක ඉතිහාසයේ මෙවැන්නක් සිදුවන්නේ දෙවැනි වතාවටයි. මෙමගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුළු ලෝකයටම රොටරි සමාජය අගනා සම්පතක් බවයි. සංවර්ධනය වෙමින් පවතින පමණක් නොව සංවර්ධිත රටවල රජයන්ටද එය අතිමහත් සම්පතක්.

     

    ආණ්ඩුවක් පය ගැසීමට බිය වන තැන්වලට යෑමට ඔබට හැකියාව තියෙනවා. වෙනත් කිසිවෙකුට අත පෙවිය නොහැකි තැන් ස්පර්ශ කිරීමට ඔබට හැකියාව තියෙනවා. මා හිතන්නේ ලෝකයේ ආණ්ඩු මේ තත්වයෙන් ප්‍රතිලාභ ලබා ගත යුතු බවයි. එය කළ හැක්කේ රොටරි සමාජය හා වෙනත් එවැනි සේවා සංවිධාන වඩාත් පුළුල් සහයෝගීතා අවස්ථා විවර කරගැනීම සඳහා හවුල්කරුවන් කර ගැනීමෙන් බව මගේ අදහසයි.


    මෙය යුගයේ අවශ්‍යතාවක් වන්නේ, වර්තමානයේ ආණ්ඩුවල සහ සේවා සංවිධානවල කාර්ය භාරය දැඩි පරිවර්තනයකට භාජනය වෙමින් පවතින නිසයි.

    වර්ෂ 2008 දැවැන්ත මූල්‍ය අර්බුදයත් සමඟ බොහෝ ආණ්ඩුවලට අයවැය පරතරය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් සකසුරුවම් විකල්ප කෙරෙහි යොමුවන්නට සිදුවුණා. පොදු මුදල් වියදම් කිරීම් සම්බන්ධ පීඩනය හේතුවෙන් රජයේ වියදම් කප්පාදු කිරීමට සිදු වුණා. විශේෂයෙන්ම සමාජ ක්ෂේත්‍රයේ වියදම් සම්බන්ධව අවිනිශ්චිතතා මතු වුණා. සමහර ආණ්ඩු ව්‍යූහාත්මක වෙනස්කම් පදනම් කර ගනිමින් දශක ගණනාවක් තිස්සේ සමාජ සුබසාධන කටයුතු කප්පාදු කරමින් සිටිනවා. මෙවන් පසුබිමක ආණ්ඩුවේ පසුබෑම් හා ඉවත්වීම් නිසා ඇතිවන හිදැස පියවීම සඳහා පුද්ගලයන් ඒකරාශී කිරීමේ හා සම්පත් යෙදවීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සේවා සංවිධානවලට සිදු වෙනවා.

     

    නමුත්, මූල්‍ය විනය, අයවැය පාලනය සහ අයවැය පරතරය අවම කිරීම යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුවකට සිය සමහර සමාජ සුබසාධන වගකීම් අතහැර දැමිය හැකි බව නොවෙයි. එයින් අදහස් කෙරෙන්නේ සේවා සංවිධාන සමග හවුලේ කටයුතු කිරීම හෝ යම් යම් සේවාවන් ඉටු කිරීම සඳහා සේවා සංවිධානවල සේවය වෘත්තීයමය පදනමින් ලබා ගැනීම වැනි පියවර පිළිබඳව සිතා බැලිය යුතු බවයි. එය වඩාත් ඵලදායී ලෙස සේවා සැපයීමේ ක්‍රමවේදයක් විය හැකියි. එසේම රාජ්‍ය සේවය ද, ප්‍රතිපල ඉලක්ක කරගත්තක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ ඔස්සේ සුබසාධන සේවා ඉටුකිරීමේ යුතුකම වඩාත් අඩු පිරිවැයකින් සිදු කිරීමේ ක්‍රමවේදයක් සකසා ගත හැකියි.

     

    මෙම නව ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරලීමට නම්, ආණ්ඩු සහ සේවා සංවිධාන අතර සමීප සහයෝගීතාවක් අවශ්‍යයි. එසේම එක් එක් සංවිධාන ක්‍රියාත්මකවන ක්ෂේත්‍රයන් අතර සබැදියාවන් හා මිශ්‍රණයන් පවතින නිසා ඒ සංවිධාන අතර තරඟකාරීත්වය, එකම කාර්යය නැවත නැවත සිදු කිරීම හා ආකූලතාවන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී ආණ්ඩුවට සේවා සංවිධානවල විශේෂඥතා හඳුනාගෙන ප්‍රයෝජනයට ගන්නට හැකියි. නමුත් අවශ්‍ය නම් සංවිධානවල ස්වාධීනත්වය නීතියෙන් වුවද තහවුරු කිරීම මෙහිදී වැදගත් වෙනවා.


    සේවා සංවිධානවලට කළ හැකි තවත් කාර්යයක් වන්නේ ස්වකීය විශේෂඥතාව පවතින ක්ෂේත්‍රයේ රජයේ ආයතන ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්‍ෂණ මණ්ඩලයක් වශයෙන් නිල මට්ටමින් ක්‍රියාත්මක වීමයි. ඉන්දියාව වැනි රටවල මෙය දැනටමත් සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇතැම් වැඩසටහන් පොදු භාරයක් මගින් අධීක්‍ෂණය කෙරෙනවා. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙද්දී, රාජ්‍ය ආයතනයන් ස්වකීය කාර්යක්ෂමතාව හා ඵලදායීතාව නංවන්නට නිසැකවම කටයුතු කළයුතු වෙනවා.

     

    වෙනස්වීමේ කාලය එළැඹඇති බැවින්, ආණ්ඩු මෙන්ම සේවා සංවිධානත් තමන් දෙසම අවධානය යොමු කළ යුතු වෙනවා. අභ්‍යන්තර වෙනස්කම් වලට මුහුණදීමටත්, ඒවාට සංවේදීවීමටත් ශක්‍යතාවක් අපට තියෙනවාද? විශාල කාර්ය භාරයක් සිදු කළ යුතු ක්ෂේත්‍රයක් වන්නේ ආණ්ඩුවේ හා සේවා සංවිධානවල කාන්තා නියෝජනයයි. කාන්තාවන් සම්බන්ධ කරගත යුත්තේ සාමාජිකාවන් හා සහය කණ්ඩායම් ලෙස පමණක් නෙවෙයි. ප්‍රාද්ශීය මට්ටමේ මෙන්ම ඉහළ මට්ටම් වලද නිලධාරිනියන් වශයෙනුයි. පසුගිය දශක කීපය තුළ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, සමූහ ක්‍රියාකාරිනියන් වශයෙන් සිය ශ්‍රම බලකායට කාන්තාවන් එක් කර ගැනීමට රොටරි සමාජ යම් යම් පිළිවෙත් ගත් බව මා දන්නවා. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ රොටරි සංවිධානයේ සෑම මට්ටමකම කාන්තා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සහතික කැරෙන ප්‍රතිපත්තිමය තීන්දුවක් ආයතනයේ ඉහළම මට්ටමින් ගැනීමයි.

     

    ජංගම දූරකතන හා අන්තර්ජාල සබඳතා පුළුල් වීමත්, සමාජ මාධ්‍ය ජාල ප්‍රසාරණය වීමත් සමග අවිධිමත් ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කාර්ය භාරය පුළුල් වෙමින් පවතිනවා. ඩිජිටල් යුගය නිසා අන්‍යෝන්‍ය සංනිවේදනයේ පමණක් නොව ක්‍රියාකාරීත්වයේද රැඩිකල් වෙනසක් ඇතිවී තියෙනවා. සමාජ මාධ්‍ය ජාල නිසා මුහුණට මුහුණ ලා ඇති කර ගන්නා සබඳතාවන් පසුකරමින් අප ඉදිරියට ගොස් තිබෙනවා. අසල්වැසි සම්බන්ධය ඉක්මවා ගිය සීමා මායිම් නොමැති සම්බන්ධකම් කරා අප එළැඹෙමින් සිටිනවා.

     

    එහෙත් ඒ සමගම සමාජ මාධ්‍යවල දුර්වලතා සහ අඩුපාඩු ඇති බව ද අප අමතක කළ යුතු නැහැ. සයිබර් අවකාශයේ විවිධත්වය පොහොසත් බව හා උද්වේගකර විනෝදය නිසා තරුණ පිරිස සමාජ යථාර්ථයෙන් දුරස්වෙමින් සිටින බව ඔබට අවබෝධ වී ඇති. එසේම ඔබේ සංවිධානය සඳහා තරුණයන් බඳවා ගන්නටත් තරුණයන් ඉලක්ක කරන්නටත් ඔබ දැනටමත් පියවර ගෙන ඇති බවට ද සැකයක් නැහැ. සේවා සංවිධානයක සාර්ථකත්වය රදා පවතින්නේ ගෝලීය මට්ටමින් සිදුවන වෙනස්කම් වලට අනුව හැඩගැසීමටත්, තරුණ පරපුර සමග සමීප සම්බන්ධතා පැවැත්වීමටත් ඇති හැකියාව මතයි. ඉදිරි දශක කීපයේ සේවා සංවිධාන පවත්වාගෙන ඉදිරියට ගෙන යන්නේ වත්මන් තරුණ පරපුරයි. ඒ නිසා තරුණ පරපුර හැම විටම සේවා සංවිධානයන්හි කේන්ද්‍ර වගකීම් දරන්නන් බවට පත් කර ගත යුතුයි.

     

    මේ රොටරි වසරේ ශ්‍රී ලංකාවෙන්  සභාපතිවරයකු ලබා දීමට හැකිවීම ගැන ලාංකිකයන් වශයෙන් අප ආඩම්බර වෙනවා. ඔහු දැනටමත් රොටරි අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් දින පහේ සිට තුන දක්වා අඩු කිරීමෙන් වියදම් අඩු කිරීමට පමණක් නොව කුසලතා හඳුනා ගැනීම සඳහාත් පියවර ගෙන තියෙනවා.  එහෙත් ජුනි මාසයේ දී රොටරි වසර සම්පූර්ණ වූ පසු ඔහුව ආපසු ලබා ගැනීමට අපි සතුටින් බලා සිටිනවා.

     

    ඉදිරි වසර වලදී රොටරිය සමග අපේ ඓතිහාසික බැඳීම තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, අපේ කාලයේ අභියෝග ජයගනු වස් නව හවුල්කාරත්ව ගොඩනගා ගැනීමටත් බලාපොරොත්තු වනවා.  107 වැනි ජාත්‍යන්තර සමුළුව ඉතා සාර්ථක වේවා යැයි මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.”


    එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතා සභාව අමතමින් මෙසේ පැවසීය.

     

    “අද අප මේ පැමිණ තිබෙන්නේ මිත්‍රත්වයේ නිවහනටයි. මා එසේ කියන්නේ ආරම්භයේ සිටම රොටරි සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා සමීපව කටයුතු කරන නිසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවන්හිදීත් රොටරි සමාජය විශාල කාර්ය භාරයක් ඉටු කළා. අපේ සංවිධානයට අයත් රටවල් 150 කට අධික සංඛ්‍යාවක රොටරි සමාජය ක්‍රියාත්මක වනවා.

     

    ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ ජීවිත ආරක්‍ෂා කිරීමයි. ජීවිත යහපත් කිරීමයි. පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන් කරලීම සඳහා ඔවුන් ඉටු කරන්නේ ශ්‍රේෂ්ඨ කාර්ය භාරයක්. මේ ක්‍රියාවලියට මමත්, මගේ බිරිඳත් ප්‍රායෝගිකවම සහභාගී වී තියෙනවා.

     

    රොටරි සමාජයේ සමාජ සත්කාර්යයන් ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මෙහි පැමිණ සිටින සියලු සාමාජික සාමාජිකාවන්ට මම මගේ බලවත් ස්තූතිය පළ කරනවා. ඔබේ කැපවීමට, ඔබේ වගවීමට බොහොම ස්තුතියි”

     

    දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් මහතා සභාව අමතමින් පැවසූයේ රොටරි ජාත්‍යන්තර සමුළුව කොරියාවේ පැවැත්වීම සම්බන්ධව තම ප්‍රසාදය පළ කරන බවයි. ලෝ පුරා ජනතාවට විශාල සේවාවක් ඉටු කරන රොටරි සමාජය වෙත තම උණුසුම් සුබ පැතුම් පළ කරන බවද කොරියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රොටරි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සමුළුවට එක්වී සිටි අතර, ඔව්හු ශ්‍රී ලංකා ජාතික ධජ අත දරමින්, ජාතික අනන්‍යතාව ප්‍රදර්ශනය කළහ.

     

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya