අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ප්‍රතිපත්ති මාලාවෙන් 2020 දී ඉහළ ආදායම් ඇති ආර්ථිකයක්

    මැයි 01, 2016

    මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කොට අධීක්ෂණ කමිටු පත් කර තිබෙන බවත් කැපකිරීම් කළ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අවස්ථාව උදා වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ගම දියුණු  කිරීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය හඳුන්වා දෙන බවත් ජනතාවට කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ලබා දෙන අතර තිරසර සංවර්ධනය ඇති කිරීම ජාතික රජයේ අරමුණ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    ඉදිරියේ දී එළිදක්වන ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අද ( 01) වන දින බොරැල්ල, කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළියේ දී අදහස් දක්වමින් අගමැතිවරයා  මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    "මේ කැපකළ ජනතාවගේ මැයි රැළියයි. මේ රට බේරා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට, ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට තමන් විශාල කැපකිරීමක් කළා. මේ සඳහා ඔබ නොයෙකුත් දුක් වින්දා. ඒ සඳහා ඔබට මාගේ ස්තූතිය පුදකරනවා.

    දැන් ඒ කැපකිරීම් කළ ජනතාවට ප්‍රතිලාභ දෙන අවස්ථාවයි. රටේත්, ඔබේත් දියුණුව සඳහා අප සියලූ දෙනාම එකට එක්වී වැඩ කළ යුතුයි. ඒ නිසා අපි මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කොට  අධීක්‍ෂණ කමිටුව පත් කළා. ඉදිරියට කරන්නට තිබෙන්නේ ඒ වැඩකටයුතු තහවුරු කළ අලූත් ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.

    සමහර පක්‍ෂ ආණ්ඩුවත් එක්ක එකතු වුණා. තවත් පක්‍ෂ ගණනාවක් පාර්ලිමේන්තුව තුළ අධීක්‍ෂණ කමිටුව මගින් ආණ්ඩුවේ හොඳ දේවල්වලට සහයෝගය දෙන බව හා විවේචනය කරන බව ද පවසා තිබෙනවා.  මේ ආකාරයෙන් අප මේ ගමන යනවා නම් ඊළඟ අවුරුදු 5 තුළ අපට අලූත් ශ්‍රී ලංකාවක් ඇති කරන්න පුළුවන්.

    සමහරුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ වීමයි. රට දියුණු කිරීම නොවෙයි. විවිධ මත දරන පක්‍ෂ තිබෙනවා. නමුත් රට ගැන සිතා අපි අද එකට එක්වී වැඩ කටයුතු කරනවා.

    අද ප්‍රධාන විකල්ප දෙකක් තිබෙනවා. තමන්ගේ දේශපාලන අනන්‍යතාවය ආරක්‍ෂා කර ගෙන රට දියුණු කරනවාද, නැත්නම් තමන්ගේ බංකොළොත්භාවය පෙන්වීමට එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව එකට එකතු වනවාද යන්නයි. ඒකාබද්ධ විපක්‍ෂය එකතු වන්නේ මේ දෙවන සත්ව වර්ගයටයි.
    රාජපක්‍ෂ රෙජීමය සිදු කළේ කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂය විනාශ කිරීමට උත්සාහ දැරුවා පමණක් නොව, රටේ සියලූ ක්‍රියාදාමයන් ද විනාශ කර දැමුවා.


    ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින් මේ රටේ ජනතාව මත බිලියන 460 ක ණය බරක් පැටවූ අය අද බැංකොක් නුවර සිට උදයංග වීරතුංග එක්ක පාටි දානවා. මේවා කාගේ සල්ලි ද? අපි නැවත යන්න ඕනේ මේ වගේ යුගයකට ද? මේ අය ජ්ඛ්ධ්ච් එකට විරුද්ධ ඇයි කියා දැන් තේරෙනවා.


    ජනතාවගේ දේපොළ කිසිදු වගකීමකින් තොරව තමන්ගේ පුද්ගලික දේපොළ වගේ පාවිච්චි කරා. රට පුරා මාළිගා හැදුවා. රජ මාළිගා හැදුවා. කුමරුන්ගේ මාළිගා හැදුවා. එතැනට විතරක් සීමා වුණේ නැහැ. තමන්ට වෙනම ගමන් කිරීම සඳහා ඇදන් සහිත අති සුඛෝපභෝගී ගුවන් යානා දෙකක් ඇණවුම් කළා.


    මේකද එක්සත් ජාතික පක්‍ෂ විරෝධකම. සියලූම ව්‍යාපෘතිවලින් කොමිස් ලබාගෙන තමන්ගේ සාක්කුවට දමා ගත්තා. ජනතාව මත ණය බර පටවා තමන්ගේ සාක්කුවලට මුදල් දමා ගත්තා. ජනතාවගේ නිදහස සීමා කළා.


    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වන විට ඒ වාසිය ජනතාවට නොදී ජනතාවට වැඩි මිලට තෙල් විකුණුවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කළා.


    කිරුළපනේ කාඩ්බෝඩ් දුටුගැමුණුලා උත්සාහ කරන්නේ රාජපක්‍ෂ රෙජීමයේ යූ.එන්.පී. විරෝධය පෙන්න පෙන්නා ආපසු රට සූරා කන්නයි.


    මීළඟ මැතිවරණයට පෙර මේ කාඩ්බෝඩ් වීරයන්ව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.


    අපි අද අලූත් යුගයක් ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දවසින් දවස ඉහළ යනවා. මේක රාජපක්‍ෂ රෙජීමයට කේන්තියක්. රාජපක්‍ෂ රෙජීමය යටතේ සිංහල අවුරුදු සමරන්න ජනතාවට මුදල් තිබුණේ නැහැ. තමන්ගේ රත්තරන් බඩු උකස් කළා. මේ අවුරුද්දේ ඒ තත්ත්වය වෙනස් වුණා. ජනතාවගේ අතේ මුදල් තිබුණා. අපි සියලූ දෙනාගේ බලාපොරොත්තුව වූයේ මෙයයි.


    අපේ ආණ්ඩුවේ දී වැට් බෝම්බයක් පත්තු කළා කියා රාජපක්‍ෂ රෙජීමයට කඩේ යන මාධ්‍ය පැවසුවා. අපේ අතේ බෝම්බ නැහැ. අපි පළමු වතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කළා.

    දැන් අපට තිබෙන්නේ ආර්ථිකයට රාජපක්‍ෂ රෙජීමය වළලා තිබූ බිම් බෝම්බ ඉවත් කර රට සංවර්ධනය කිරීමයි.

     

    අපි පඩි වැඩි කරන බව කිව්වා. පඩි වැඩි කළා. අපි බඩු මිල අඩු කරන බව කිව්වා. බඩු මිල අඩු කළා. අපි යටිතල පහසුකම් වැඩි දියුණු කරන බව කිව්වා. ඒ අනුව දැන් උතුරේත් දකුණේත් ආර්ථිකයන් එක් කරන යටිතල පහසුකම් සකස් කරනවා. අපි දූෂණය මැඩලන බව කිව්වා. දැන් අපි දූෂකයක් නීතිය ඉදිරියට පමුණුවමින් සිටිනවා. අපි කියන දේ කරනවා. රට වෙනුවෙන් කැප වෙනවා.


    අපේ අරමුණ රැකියා ලක්‍ෂ 10 ක් ලබාදීමයි. 2020 වන විට ඉහළ ආදායම් ඇති ආර්ථිකයක් රටේ ඇති කිරීමයි. රටේ හැම පුරවැසියෙකුටම උසස් ජීවන තත්ත්වයක් ලබාදීමයි.


     
    2023 වන විට දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ නැංවීම අපේ අරමුණයි. එමෙන්ම රටේ ණය බර අඩු කිරීමට ද අප කටයුතු කරනවා.

     

    ඊළඟ අවුරුදු 4 තුළ අවම වැටුප් ක්‍රමයක් වෙනුවට අවම ජීවන වැටුප් ක්‍රමයක් හදුන්වා දෙනවා.


     
    රජයට අයත් ව්‍යාපාර සහ සංස්ථා පුද්ගලීකරණයට ලක් කරන්නේ නැහැ. ගජ මිතුරන්ට කොල්ලකන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරනවා. ඒවායේ ආදායම් සහ අයිතිය ජනතා ධන භාරයට එකතු කරනවා.

     

    රජයේ සියලූ දේපොළ ජනතා ධන භාරය යටතට පත් කරනවා. ඒවායේ වටිනාකම ස්වාධිපත්‍ය අරමුදලට එක් කරනවා. ඒ අරමුදලේ අයිතිය ජනතාවට ලබා දෙනවා. එවිට රටේ වැඩිපුරම ධනවත් භාවය ඇති වන්නේ රටේ ජනතාවටයි.

     

    අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා. කාන්තාවන් වැඩි වැඩියෙන් ශ්‍රම බලකායට එක් කරනවා. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් සම වැටුප් ලබා දෙනවා.

     

    ගම දියුණු  කිරීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය හදුන්වා දෙනවා. ජනතාවට කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ලබා දෙනවා. තිරසර සංවර්ධනය ඇති කිරීම ජාතික රජයේ අරමුණයි.


    මේ සියලූ අරමුණ ඉටු කර ගැනීම සඳහා අප සමග එකතු වන ලෙස මුළු රටටම ආරාධනා කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya