මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කරනවා

    සැප්තැම්බර් 01, 2015

    ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සුචරිත දැක්ම තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් ඵලදායී ලෙස ඉටු කිරීමටත් පාර්ලිමේන්තුවේ ස්වාධීන ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීමටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අදහස් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    අභිනවයෙන් තේරීපත් වූ කතානායක කරූ ජයසූරිය මහතා අද (1) අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් මෙසේ පැවසී ය.

    මේ උත්තරීතර අටවැනි අභිනව පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට ඔබ සැම සියලු දෙනාගේම කැමැත්තෙන් ඒකච්ඡන්දයෙන් මා තෝරා පත්කර ගැනීම පිළිබඳව මාගේ හෘදයාංගම කෘතඥතා පූර්වක ස්තූතිය ප්‍රථමයෙන් සියලු දෙනාටම පිරිනැමීමට කැමැත්තෙමි.

    අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සියලුම දේශපාලන පක්ෂනායකයින් මා ලද කතානායකධූරය වෙනුවෙන් සිදුකළ සියලු සුබාශාංසනයන්ට ද මාගේ හදපිරි අවංක ස්තූතිය පුදකර සිටිමි.මෙම උත්තරීතර තනතුරේ තිබෙන ස්වාධීනත්වය මෙන් ම අපක්ෂපාතීත්වය වැනි සුවිශේෂී ලක්ෂණ නිරන්තරයෙන් ආරක්ෂාකරමින් ඔබ සැම මෙලෙස මට බාරදුන් මේ භාරදූර වගකීම මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවංකව හා කාර්යක්ෂමව ඉටු කිරීමට
    මම පොරොන්දු වෙමි.

    කතානායක ධූරයේ සියලු කටයුතු සාර්ථකව නොපිරිහෙළා ඉටුකිරීමටත් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීමටත් ඔබ සෑම සියලු දෙනාගේම උපරිම සහයෝගය සහ අඛණ්ඩ සක්‍රීය දාකත්වය ඉතාමත් ඕනෑකමින් මම ඉල්ලා සිටිමි.


    2015 ජනවාරි මස 08 වැනි දින ආරම්භ වූ නැවුම් දේශපාලන පරිවර්තනය හා විපර්යාසය කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල ජන සමාජයේ දැඩි අවධානයට යොමු වී තිබෙන දැනට නිර්මාණය වෙමින් පවතින විසංවාදී ආණ්ඩු සංකල්පය වැනි හිතකර ප්‍රවණතාවයන් හමුවේ පාර්ලිමේන්තුවේ කතානායක ධූරය හෙනවීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස නිහතමානීව පිළිගනිමි.

    පාර්ලිමේන්තුවේ චිරාත් කලයක සිට පැවත එන සම්ප්‍රදායන් පරිචයන් සහ ස්ථාවර නියෝගවල විවිධත්වයන්ට අනුකූලව ව්‍යවස්ථාදායකය ශක්තිමත් කරන විවිධ කාරක සභා යාන්ත්‍රණයන් විධිමත් ආකාරයෙන් මෙහෙයවීමට ගරු මන්ත්‍රීවරු ලෙස ඔබ සැම සක්‍රීය දායකත්වයක් සැමවිට ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි.

    විවිධ වූ දේශපාලන විෂමතා හා නොගැලපීම් තාවකාලිකව පසෙක ලා අප රටේ දැනට පවතින ජාතික අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි විසංවාදී ආණ්ඩු සම්මුතිය තුල ජනතාවගේ පරමාධිපත්‍යය සුරකින විවිධත්වයක් තුළ ඒකත්වයක් කරා පියවර නංවන නවතාවයෙන් හා යහ පැවැත්මෙන් යුතු මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය නිරන්තරයෙන් සුරැකීමට අපි සැම සිතට ගනිමු.

    මෙවන් වූ නැවුම් අධිෂ්ඨානයකින් යුතුව අලුත් සංස්කෘතියකට අවතීර්නවීමට මෙම උත්තරීතර ධූරයේ සියලු කටයුතු කිරීමට මා අවංකවම වෙර දරන බව සිහි ගන්වමින් ඔබ සියලු දෙනාටම සියලු ජය ප්‍රාර්ථනා කරන බව කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya