අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය නිවාරණයට ජනපති ජාත්‍යන්තර සහය ඉල්ලයි

    ජූලි 30, 2015
    ශ්‍රී ලාංකීය ගොවි ජනතාව මුහුණ දී සිටින ඉතා ඛේදනීය ඉරණමක් වු වකුගඩු රෝගයෙන් එම ජනතාව බේරා ගැනීම සඳහා ජනපති ජාත්‍යන්තර සහය අපේක්ෂා කරයි. 
     
    ශ්‍රී ලංකාවට හිතැති සියලු මිත්‍ර රාජ්‍යවල සහය ඒ සඳහා අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසූවේ විදෙස් රටවල තානාපතිවරුන් සමග ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි. 
     
    දැනට ප්‍රදේශ රැසක 40,000 ක පමණ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුව සිටිති. රෝගය හේතුවෙන් දහසක පමණ පිරිසක් වාර්ෂිකව මිය යති. මෙම තත්ත්වයට ප්‍රමුඛ හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ ජනතාවගේ පානීය ජල ගැටලුව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමේදී ජාත්‍යන්තරයේ සහය අපේක්ෂා කරන බව පැවසීය. 
     
    රෝගයට ගොදුරු වූවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා දිවයින පුරා සියලු රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් කටයුතු කළ ද වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ගැටලු මතු වී ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    මේ සඳහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක් ම ලබාදීමට තානාපතිවරුන් එම අවස්ථාවේම සිය එකගතාවය පළ කළ අතර සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනතාව වෙනුවෙන් ගෙනයන මානුෂීය වැඩපිළිවෙළ ද ඇගයීමට ලක් කළහ.
     
    වකුගඩු රෝගය ඇතිවීමට මූලිකවන කරුණු පිළිබඳ වැඩිදුරටත් පරික්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මෙම හමුවට එක්වූ නියෝජිතයා පැවසූ අතර ශ්‍රී ලංකාවේ පානීය ජල ව්‍යාපෘති සඳහා ලබාදෙන ආධාර ඉදිරියේ දී තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව යුරෝපා සංගමය නියෝජනය කරමින් සහභාගි වූ නියෝජිතවරයා  පැවසීය.
     
    ඉන්දීය මහ කොමසාරිස් වයී.කේ. සිංහා මහතා ප්‍රකාශ කළේ පොල්ගහවෙල, කුණ්ඩසාලේ සහ කළුතර පානීය ජල ව්‍යාපෘති සඳහා සහය ලබාදීමට අපේක්ෂා කරන බවය. 
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරුවූවන් 60,000 ක් වෙනුවෙන් ආධාර ලබාදීමට ජපන් රජය එකගතාවය පළ කළේය.
     
    උතුරු පළාතේ ලක්ෂයකට ජලය සපයාදිය හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහය ලබාදෙන බවද ජනාධිපතිතුමාගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරමින්  ඕස්ටේලියානු තානාපතිවරිය සඳහන් කළාය. 
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ රටවල්  රැසක තානාපතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya