අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය උවදුර නිවාරණයට සහ පරිසර සංරක්ෂණයට පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

    ජූලි 03, 2015

    සමාජයේ මහා ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර නිවාරණයට සහ පරිසර සංරක්ෂණය පිළිබද  පාසල් දරුවන් දැණුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පෙරවරුවේ පැවති මාවනැල්ල, උස්සාපිටිය අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමිනි.

     

    ඊයේ පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත  කැඳවාගෙන යනු ලැබීය.

     

    සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණ විද්‍යා පීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ  චාරිකාවකද නිරත විය.

     

    නැණසල දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය, නව ගණිතාගාරය, භාෂාගාරය, තොරතුරු හා තාක්ෂණ විද්‍යාගාරය එහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ජනාධිපතිතුමා එහි සිසු දරුවන් සමඟ සුහද කතා බහකද නිරත විය.

     

    අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල්වල මූලික අවශ්‍යතා  සපුරාලීමට ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවයි.

     

    සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති පාසල් රැසක් පිළිබද වාර්තා වී තිබේ. එම පාසල් පිළිබද සොයා බලා දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුලික පහසුකම් සපුරාලීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජාතික අධ්‍යාපන සැළසුම් තුළ නිපුණතා අධ්‍යාපනයට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බවත් අද ලෝකයේ බොහෝ රටවල් ඉහළ දියුණුවක් ලබා ඇත්තේ විධිමත් නිපුණතා අධ්‍යාපනයක් තුළින් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    අපේ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදනය කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි මහා  මැතිවරණයෙන් පසු අරඹන බවද කියා සිටියේය.

     

    රටත්, ජනතාවත් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන බවත් තමන් ජනාධිපති ධුරයට පැමිණියේ එම අභියෝගවලට මුහුණදීමට බවද පැවසූ ජනාධිපතිතුමා කිසිදු අභියෝගයක් හමුවේ නොසැළී ඉදිරියට යාමට තමාට ශක්තිය ඇති බවද ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya