අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙදුණු ජාත්‍යන්තරය අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා - ජනපති

    අප්‍රේල් 24, 2015
    අතීතයේ දී අපි නිසා බෙදුණු ජාත්‍යන්තරය ජනවාරි 09දායින් පසුව මේ රජය බලයට පත් කරන්න ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය ම ජාත්‍යන්තරය මා කෙරෙහි තබා තිබෙනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    මේ රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් රාජ්‍ය නායකයා සහතික කරනවා යැයි ද එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසන් සභාව, ආරක්ෂක මණ්ඩලය අද අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා යැයි ද කීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) දින ජාතිය අමතමිනි.
     
    "පසුගිය කාලය තුළ මම රටවල් කිහිපයකට ගියා ඔබ දන්නවා. මම මුලින්ම ගියේ අසල්වාසි අපේ ළඟම තිබෙන මිත‍්‍ර රාජ්‍යය ඉන්දියාවට. ඉන් පසුව මම ගියේ පොදු රාජ්‍ය මණ්ඩල දින උත්සවයට බි‍්‍රතාන්‍යයට. පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම වගේම ඊට වඩා මට වැදගත් වුණා අපේ රට වෙනුවෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම්, විදේශ ලේකම් ඒ වගේම මහ රැජිනගේ හමුවීම්. ඒ තුළින් මම හිතන්නේ බි‍්‍රතාන්‍ය විතරක් නෙවේ අපි දිනාගත්තේ. මම විශ්වාස කරනවා යුරෝපා සංගමය දිනාගත්තා කියලා" යැයි ද පැවසීය.
     
    "ඒ වගේම ඔබ දන්නවා මම තුන්වනුව ගියේ චීනයට. අපේ මිත‍්‍ර රාජ්‍යයක් විදිහට අපේ රටේ සංවර්ධනයට විශාල අනුබලයක්, ශක්තියක්, ආයෝජනයක් කරන චීනයට ගිහිල්ලා මට පුළුවන්කම ලැබුණා අපි අතරේ මෙතෙක් කල් තිබුණු මිත‍්‍රත්තවය තව තවත් තහවුරු කර ගන්න. මම ඊට පස්සේ ගියේ පකිස්ථානයට. පාකිස්ථානයත් අපේ ඉතාමත් හිතවත් මිත‍්‍රයෙක්. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බි‍්‍රතාන්‍ය මේ රටවල්වල සංචාරය ජාත්‍යන්තර වශයෙන් අපි මුළු ලෝකය ම දිනාගත්තා කියලා මම විශ්වාස කරනවා. අප කෙරෙහි තබා ඇති විශ්වාසය විශේෂයෙන් ම නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහත්මයා, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහත්මයා ඒ වගේම පාකිස්ථාන අගමැති නවාස් ෂෙර්ෆ් මහත්මයා, චීන ජනාධිපති ෂි ජින්පින් මහත්මයා මේ රාජ්‍ය නායකයන් අප කෙරෙහි දැක් වූ ලෙන්ගතු බව, සෙනෙහස, මිත‍්‍රත්වය ඉතාම පුළුල්".
     
    "මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාලයේ ජාත්‍යන්තරය මොනතරම් අපිට සමීප වුණා ද, අපේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තිය තුළ. මගේ ආණ්ඩුව අද පැහැදිළිව මේ රටේ කි‍්‍රයාත්මක කරන්නේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තිය. සියලු ජාතින් තුළ රාජ්‍යයන් අන්තර්ජාතික සංවිධාන තුළ මිත‍්‍රත්වය තහවුරු කර ගැනීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මම ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ මට සුබ පැතු ආකාරය මට මතකයි. ඒ වගේම මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් පහුගිය කාලයේ අපේ රටට ආවා. ඒ වගේම බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ති‍්‍රකයන් විශාල පිරිසක් මේ මාස 03 ට අපේ රටට ඇවිල්ලා මාව හමුවුණා. මේ සියලු දෙනා අප කෙරෙහි විශාල විශ්වාසයක් ඇතිකරගෙන තිබෙනවා".
     
    "මේ දින 100 තුළ මොනවද කළේ කියලා අහන අයට විශේෂයෙන් ම පසුගිය පාලනයෙන් බිඳ වැටිලා තිබුණු ජාත්‍යන්තර මිත‍්‍රත්වය, විශ්වාසය ඉතා ශක්තිමත් ලෙස මට පුළුවන්කම ලැබුණා මගේ ආණ්ඩුව විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් දිනාගන්න. ඒ ලබාගෙන ඇති විශ්වාසය තුළ අප කෙරෙහි ලබා දෙන සහයෝගය රටේ සංවර්ධනයට විශේෂයෙන් භෞතික සම්පත් සංවර්ධනයට, ජාත්‍යන්තර කටයුතුවලට අපි ඉතාමත්ම අගය කරන්න ඕන".
     
    ගත වූ දින 100ක කාල සීමාව විශේෂයෙන් ම මේ රටේ ආර්ථිකය පිළිබඳ, දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර සම්බන්ධතා මේ සියල්ල ගත්විට අපි නව රජයක් විදිහට නව පියවර රාශියක් තබලා තිබෙන බව සඳහන් කළ යුතු යැයි ද ජනාධිපතිතුමා කීය. 
     
    "ජනවාරි 08දා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා පැහැදිළිව ම සිදු කළේ තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තුළ පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ. ඒ සිදුවූ පරිවර්තනය සහ විප්ලවය ලැබු නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතය කි‍්‍රයාත්මක කිරිම, ඊට නැඹුරුවීම මේ කියන කරුණු පදනම් කරගෙන පසුගිය මාස 03 කට ආසන්න කාලය තුළ කටයුතු කිරිමේදී රට තුළ ඇතැම් අයගේ හැසිරීම්, ඇතැම් අයගේ දේශපාලන තීන්දු සහ කි‍්‍රයාකාරිත්වයන් පිළිබඳ ව අවධානය යොමු කිරිමේදී මගේ මතකයට එන්නේ ඉතිහාසය තුළ විශේෂයෙන් ම ලෝකයේ ඇතැම් රටවල්වල විප්ලවයක් සිදු වූ අවස්ථාවේදි ඒ විප්ලවයෙන් පසුව ඇතිවන ප‍්‍රතිවිප්ලවය පිළිබඳවයි. බොහෝ වෙලාවට අපි දන්නවා විප්ලවයකින් පසුව ප‍්‍රතිවිප්ලවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්තවයක්". 
     
    දින 100තුළ බොහෝ දේවල් කළ බවත් පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අතර ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහැට පේන අතට හසුවන දේවල් නොවන බවත් පෙන්වා දෙයි.
     
    පසුගිය කාලයේ දී  ජනතාවට මෙන් ම රජයේ නිලධාරීන්ට පමණක් නොව මහජන නියෝජිතයන්ට දුරකතන මාර්ගයෙන් පවා නිදහසේ කතා කිරීමේ අවස්ථාව අහිමි වී තිබූ බවත් මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙන බවත් පෙන්වා දෙන අතර ම මාධ්‍ය නිදහස ලැබී ඇති බවත් පෙන්වා දුන්නේය. 
     
    අනෙක් පැත්තෙන් අධිකරණය. ඔබ දන්නවා නීතියේ ආධිපත්‍ය මොනතරම් බිඳිල ද තිබුණේ. අධිකරණය ගැන විශ්වාසයක් තිබුණ ද, අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියල්ල රාජ්‍ය පාලකයන්ගේ දුරකතන ඇමතුම්වලට යටත්වෙලා තිබුණේ. ඔබ දන්නවා නොයෙක් ආකාරයේ අපරාධවලට සම්බන්ධ අයට කොහොමද ඒ කාලේ නිදහස ලැබුණේ කියලා. නඩු තීන්දු හම්බවුණේ කොහොමද කියලා. නීතිපතිවරයාට නිදහසක් තිබුණ ද නීතිපති විදිහට තමන්ගේ ඒ කටයුතු කරන්න යැයි ප්‍රශ්න කර සිටියේය.
     
    "විශේෂයෙන් ම මගේ බලතල තුළ අගවිනිසුරුවරයා පත් කිරීම, හමුදාපතිවරයා පත් කිරීම ඒ අංශවල සිටින සියලුදෙනාගේ පැහැදීමක් තිබෙනවා ඔබ දන්නවා. ජ්‍යෙෂ්ඨත්වය ඒ අවශ්‍ය සියලු සුදුසුකම්වලින් සමන්විත අය තමයි ඒ තැන්වලට මම පත්කරලා තිබෙන්නේ. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරලා තිබෙනවා. නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා එය ඉතාමත් ම අත්‍යාවශ්‍යයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලයේ දී මම උපදෙස් දුන්නා ති‍්‍රවිධ හමුදාවට, පොලිසියට සියලුදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳ මට අලුත් වැඩපිළිවෙළක්  ඕන. මෙතෙක් කල් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළට වඩා. දැන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපට බොහෝ දුර ගමනක් යන්න තිබෙනවා. මේ ප‍්‍රවේශයක් විතරයි".
     
    "දින 100 කාලය තුළ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකරපු කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මාව පත් කෙරුවේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සඳහා. විධායක ජනාධිපති ධුරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ. ඉතින් මේ ගැන නොයෙකුත් විග‍්‍රහයන් තිබෙනවා. මම පැහැදිළිව කියන්න ඕන ඔබට ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ඉතාම පැහැදිළිව කියලා තිබෙනවා විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කිරීම සඳහා. දැන් මේ කාරණාවේ දී මම මොනතරම් නම්‍යශිලි වුණා ද, 1978 ව්‍යවස්ථාව සම්මත වුණ දවසේ ඉදලා මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි විධායක ජනාධිපති ක‍්‍රමයට. ඒ නිසා 94 ඉදලා හැම ජනාධිපතිවරණයකදී ම අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප‍්‍රකාශනයට දැම්මා විධායක ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කරනවා කියලා. එය කාටවත් කරගන්න පුළුවන් වුණේ නැහැ". 
     
    ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාව එක්ක ආපු මනාප ඡන්ද ක‍්‍රමයට එදා ඉදල ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. එතකොට මේ දෙකටම වාම ප‍්‍රගිතිශිලි දේශපාලන පක්ෂ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය පළවෙනි වරට මගේ මතකයේ හැටියට 1999 මේකට විරුද්ධව යෝජනාවක් සම්මත කළා ඔවුන්ගේ සම්මේලනයේ දී. 99 ඉදලා එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. මේක පොදු මහජනතාව තුළ ඇතිවුණු සංවාදයක්. ඔවුන්ගේ දේශපාලන බුද්ධිය, ප‍්‍රඥාවන්ත භාවය, ඥානය, දැණුම, අවබෝධය සහ අත්දැකීම් එක්ක. ඒ නිසා එය කළ යුතුමයි. මේ 19 වන සංශෝධනය.
    මේ රටේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශිලාචාර සමාජයක් හදන්න, ඒකාධිපතින් බිහිවීම වළක්වන්න, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම්, අධිකරණය, පාර්ලිමේන්තුව මේ සියල්ල තමන්ගේ තනි බලයට නතුවෙනවා මේ ක‍්‍රමයෙන්. මෙය වහා වෙනස් කළ යුතුයි. පසුගිය මාස 03 මේ කටයුතුවලදි මම දන්නේ නැහැ ලෝකයේ රාජ්‍ය නායකයෙක් මේ විදහට බලතල තිබෙන තනතුරකට පත්වෙලා ඒ පත්වුණාට පස්සේ තමන්ගේ අතේ තිබෙන මේ බලය දෙන්න මේ තරම් නම්‍යශිලිවුණු කෙනෙක් මම අහලා නැහැ. 
     
    ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව කටයුතු කළ යුතු වෙනවා. ඉන් එහාට අපට යන්න පුළුවන්කමක් නොමැති බවත් කී ජනාධිපතිවරයා ඒ නිසා පාර්ලිමේන්තුවට මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීම තුළ දැන් පහුගිය දින කිහිපය තුළ යම් යම් බාධාවන් ඇතිවු බවත් 19 වන සංශෝධනය සම්මත කර ගැනිම සඳහා ඡන්දය පාවිච්චි කරන්නැයි කියා මහජන නියෝජිතවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
     
    යහපත් ශීලාචාර වැදගත් සමාජයක් ගොඩනගන්න නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න ජනවාරි 08දා ඡන්දයේදී ජනතාවට දුන් මැතිවරණ ප‍්‍රකාශනයේ පොරොන්දු ඉටු කරන්න ඒ සියල්ල සඳහා අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබ අපි සහෝදරත්වයෙන් මිත‍්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය, අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඉදිරියට යමු යැයි ද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya