අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් එයාර් ලයින්ස් චීනයේ කුන්මිං වෙත ගුවන් ගමන් අරඹයි

    නොවැම්බර් 21, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම ‘වන් වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ පූර්ණ සාමාජික ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් මෙහෙයුම් සඳහා වැඩිවන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කුන්මිං වෙත ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ.



    ඒ අනුව ලොව සුන්දරතම ගමනාන්තයක් වන චීනයේ කුන්මිං වෙත දෙසැම්බර් 1 වෙනි දින සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන්  මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මේ වන විට චීනයේ බීජිං, ෂැංහයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15ක් සිදුකරනු ලබයි. මෙම නවතම ගමනාන්තයත් සමග නිරිත දිග චීනය වෙත ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් හි සම්ප්‍රාප්තිය සනිටුහන් වනු ඇත. “සදාතනික වසන්තය“ යන නමින් ප්‍රචලිතව ඇති චීනයේ කුන්මිං නගරය නිරිත දිග චීනයේ යුනාන් කලාපයේ අගනුවර මෙන් ම භූමි ප්‍රමාණයෙන් විශාලතම නගරය වේ. මෙම නගරය විශ්වවිද්‍යාල, කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික සහ අධ්‍යාපනික ආයතනවලින් සමන්විත වන අතර ‍විවේකය සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා සුදුසුම සංචාරක ගමනාන්තයක් ලෙස කුන්මිං හඳුන්වා දිය හැක.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් ඈත පෙරදිග ගමනාන්ත එහි මූලික වෙළෙඳ පොළවල් ලෙස සලකන්නේ චීනයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ක්‍රමික වර්ධනය හේතුවෙන් බවයි. මේ අනුව ගුවන් සමාගම ගුවන් මෙහෙයුම් අවස්ථා ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාව  සහ කුන්මිං හි සුන්දරත්වය අත්විඳීම සඳහා සංචාරකයන් දිරිමත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

     

    වර්තමාන සංචාරකයින්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි නිෂ්පාදන හා සේවා වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රති ඇණිගත කිරීමේ වැඩසටහන යටතේ ගුවන් යානා ඇණියට එක්වූ නවතම A330-300 ගුවන් යානාව ද ඈත පෙරදිග ගමනාන්තයන් වන බැංකොක්, ටෝකියෝ, බීජිං සහ කැන්ටන් වෙත මෙහෙයුම් සිදු කිරීමට යොදා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

     


    “මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරීම සඳහා වන  දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. චීනය වෙත කාලසටහනකට අනුව සිදුකරන ගුවන් ගමන්වලට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමානයේදී චීනයේ චොංකිං වෙත කුලී ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව එය මෙම වසරේ  දෙසැම්බර් මාසය දක්වා සතිපතා සිදු කෙරෙනවා. ඉන් අනතුරුව නැවත වාරයක් එය ලබන වසරේ ජනවාරි වලින් පසු  නැවත සිදුකිරීමටත් මේ වන විට සැලසුම් කර තිබෙනවා” යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම නවතම ගමනාන්තය තුළින් මැද පෙරදිග, මාල දිවයින් සහ ඉන්දියාව වෙත ගුවන් ගමන් සබඳතා සිදුකිරීමට බලාපොරොත්තුවන ගුවන් මගීන් සඳහා විශේෂ පහසුකම් සැපයෙනු ඇත. මැද පෙරදිග ගමනාන්ත 8ක් සඳහා සතියකට ගුවන් ගමන් වාර 40ක්ද, ඉන්දියාවේ ගමනාන්ත 7 වෙත සතියකට ගුවන් ගමන් 88ක්ද, මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් වාර 36ක් ද සිදුකරමින් ඉතා පහසු ගුවන් ගමන් සබඳතා පවත්වමින් ‘ශ්‍රී ලංකන්‘ කොළඹ සිට මෙහෙයුම් සිදුකරනු ලබයි. එසේම සහෝදර ගුවන් සමාගම වන මිහින් ලංකා සමග එක්ව සංකේත හුවමාරු ක්‍රමය යටතේ සීෂෙල්ස් වෙතද ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි.

     

    මේ වසරේ සැප්තැම්බර් වන විට චීනයේ සිට සංචාරකයින් මිලියනයක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පෙර වසර හා  සැසඳීමේ දී චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සංචාරකයින්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සංඛ්‍යා දත්තවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයින් 106,888 පැමිණ තිබේ. පසුගිය වසරේ චීන සංචාරකයින්ගේ පැමිණීම 44,742ක් ලෙස වාර්තා වූ අතර එය මේ වසරේ චීන සංචාරකයින්ගේ පැමිණීම හා සසඳා බැලීමේදී  139% වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි.

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් ව්‍යාප්තිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල චන්ද්‍රසේන මහතා “අතීතයේ අප චීනයේ කුන්මිං වෙත කුලී ගුවන් ගමන් සිදුකර තිබෙනවා. කාලසටහනකට අනුව සතිපතා කුන්මිං වෙත ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට අදහස් කර  ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වලින් ලබාගත් ඇගයුම්  සැලකිල්ලට ගනිමින් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    2013 වසරේ ජාතික ගුවන් සේවය චීනයේ සිට සංචාරකයින් 54,000කට ගුවන් පහසුකම් සලසා දීමට කටයුතු කර ඇති අතර මෙම අංශය සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් ගුවන් සමාගම සමස්තයක් ලෙස චීන සංචාරකයින් 120,000 සිට 140,000 සංඛ්‍යාවක් මෙම වසර අවසානයේදී අප රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසරේ අප්‍රේල් මාසය අවසාන වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා චීන සංචාරකයින් 36,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබීමද විශේෂත්වයකි.

     

    මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුන්මිං වෙත සතියකට ගුවන් ගමන් වාර තුනක් සිදු කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවලදී පස්වරු 6.35ට කොළඹින් පිටත් වී පෙරවරු 1:50ට චීනයේ කුන්මිං වෙත පැමිණෙනු ඇත. එසේම කුන්මිං සිට පෙරවරු 2.55ට පිටත්ව ‍පෙරවරු 5.45ට කොළඹට නැවත පැමිණීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියේ සුව පහසු බවින් ඉහළ A320 වර්ගයේගුවන් යානා මේ සඳහා යොදවා ඇති අතර සුවපහසු පහසුකම් මැද මගීන්ට නවතම සංචාරක අත්දැකීමක් ලබා දීමට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත.

     

    මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානා බීජිං සහ ශැන්හයි වෙත ඍජු ගුවන් ගමන් වාර 8 ක් සිදුකරන අතර එම ගුවන් ගමන්වලින් හතරක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙහෙයුම් සිදු කිරීමට ද කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya