මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය ප්‍රබල අවියකි

    නොවැම්බර් 05, 2014

    තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ දැනුම, තාක්ෂණය හරහා ගොඩනැගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රබල අවියක් වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

     

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී  ''විදුහුරු හෙටක් තිරසර රටක්'' ජාතික විද්‍යා සතිය 2014 ප්‍රකාශයට පත්කරමිනි.

     

    රටක් තිරසර වීමට රටේ ජනතාව ආර්ථීක අතින් මෙන් ම පාරිසරික අතින්ද ශක්තිමත් විය යුතු අතර සමාජය අතර අසමානතාව තුනී වී සමානාත්මතාවයෙන් යුතු සමාජයක් බිහිවිය යුතුය. මේ සඳහා විද්‍යාවට හා තාක්ෂණයට මහා මෙහෙවරක් කළ හැකි අතර එය ප්‍රායෝගික කිරීම මෙවර විද්‍යා සතියට අරමුණු කර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    පසුගියදා අමාත්‍යාංශය විසින් විද්‍යාඥයින් රාශියක් සම්බන්ධ කරගෙන රටට අවශ්‍ය විද්‍යා තාක්ෂණ සැලැස්මක අනුරුවක් සකස් කළ බවත් විද්‍යාඥයින්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සමඟ සාකච්ඡා කොට විධිමත් ආර්ථීක සැලැස්මක් ලෙස ජනාධිපතිතුමාට හා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. එමඟින් 2015 සිට 2020 දක්වා කාලය තුළ විධිමත් ආයෝජනයක් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති ආර්ථීක, සමාජ හා පාරිසරික ගැටලුවලින් මිදිය හැකිය.

     

    පසුගියදා කොස්ලන්ද ප්‍රදේශයේ ඇතිවූ ඛේදවාචකය ඉදිරියේදී ඇතිවීමට නියමිත පරිසර ව්‍යසනයේ පෙරනිමිත්තක් ලෙස පෙන්වා දිය හැකි අතර මීට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවතියේ බීමට වතුර පොදක් නැති දැඩි නියඟයකි. දැන් පවතින්නේ ගංවතුර හා නායයෑම්ය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එසේම පැවතිය හැකි අතර මේ තත්ත්වයෙන් ම රට ඉදිරියට ගියහොත් ජලය හිඟ කමත්, ජලය වැඩිකමත් නිසා ජල ආතතිය විසින් අනාගතයේදී රට ම බිලි ගැනීමට ඉඩ තිබේ.

     

    නියඟයක් පැමිණි විට, ගංවතුරක් පැමිණි විට, නාය යෑමක් සිදුවූ විට දුප්පත්කම එහා මෙහා වන්නේ නම් ඒ දුප්පත්කම අනතුරුදායක මට්ටමක තිබේ. මෙම දුප්පත්කම තිරසාරව මැඬලීම සඳහා දුප්පත්කම 3%ට වඩා අඩුකළ යුතුය. එවැනි තත්ත්වයක් අත්පත්කරගෙන තිබෙනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක පමණකි.

     

    ''විදුහුරු හෙටක් තිරසර රටක්'' සංකල්පය පරිසර සංරක්ෂණය සඳහා ඉතා අත්‍යවශ්‍යය. මේ රටේ අනාගත ආශ්චර්ය ගොඩනගා ගැනීමට විද්‍යා තාක්ෂණයට අප විසින් ආයෝජනය කළ යුතුමය.

     

    අද ලෝකයේ ඉහළ ගණයේ තාක්ෂණ නිර්මාණ සිදුවන කාර්මිකකරණයේ ප්‍රධානම එන්ජිම ආසියාව බවට පත්වෙමින් තිබේ. අද නව තාක්ෂණයේ යෝධ පිමි තුළින් ඉදිරියට යාමට ආසියානු කලාපයේ රටවල් සමත් වී තිබේ. යුරෝපයේ පැවති තත්ත්වය ආසියාවට ලැබෙමින් තිබේ. ශ්‍රී ලංකාවද වහාම කලාපයේ පවතින උගත්ම, නැණවත්ම සමාජ බලය තිබෙන ස්ථානය ලෙස  ඉදිරියට පැමිණිය යුතුයි. මේ විද්‍යා සතියේ අපේ ප්‍රධාන අරමුණ මෙම මතය සමාජයට ගෙන යාම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අදින් ඇරඹෙන මෙම විද්‍යා සතිය අනාගතයේදී සංවර්ධනයේ මහා ඉදිරි පිමි දකින, මහා විද්‍යා නිර්මාණ දකින, ලෝකය ජය ගැනීමට විශ්වයට අභියෝග කළ හැකි විද්‍යාත්මක පිරිසක් බිහිකිරීමට පදනමකි. අතීතයේදී අපේ රට ලෝකයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ යම් තැනක බැබළුණාද ඒ බැබළුණු මුතු ඇටය බවට නැවතත් මේ ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අවශ්‍ය කරන මුල්පියවර මේ විද්‍යා සතියෙන් අත්පත් කරගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.


    HC

    national Science week 2015 1

     

    national Science week 2015 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya