අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලය අරමුණු කරගත් පටු චින්තනයෙන් යුතු බලවේගයන්ට අප රට නැවතත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි

    ඔක්තෝබර් 24, 2014

    බලය අරමුණු කරගත් පටු චින්තනයෙන් යුතු බලවේගයන්ට අප රට නැවතත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ උප ලේකම්, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

    යුරෝපා සංගමය කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර පනවා තිබු තහනම ඉවත් කිරීමට එරෙහිව විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා ශී‍්‍ර ලාංකික ජනතාවගේ අත්සන් එකතු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (23) පෙරවරුවේ  එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වැල්ලවත්ත, මිරාජ් හෝටලයේ පැවති මෙම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රට එකසේ සංවර්ධනය වෙමින් පවතින් බැවින් සියලු ජාතීන්ට එක් ව සාමයෙන් ජීවත් වීමේ මාවත විවර කර දී ඇති බව කීය.

     


    එසේ තිබියදී ඇතැම් බලවේග මේ රට බෙදා වෙන්කොට වෙන ම රාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටියි. එබැවින් එය පරාජය කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක බලවතුන් මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයා කරද්දී අප වැනි රටවලට එක් ආකාරයකිනුත්, ගාසා තීරය සම්බන්ධයෙන් තවත් ආකාරයකිනුත් කි‍්‍රයා කිරීම හෙළා දකින බවද කීය. 
    දශක තුනකට අධික කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මෙරට ජනතාව පීඩාවිඳි අතර, ඔවුන්ගේ ම්ලේච්ඡත්වය නිසා මෙරට ජනතාව කඳුළින් ගත කළ කාලය අපට අමතක නැත.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ එම කඳුළින් පිරි අඳුරු යුගය නිමා කිරීමට හැකි විය. එම අභාග්‍ය සම්පන්න යුගය නැවතත් ඇති කිරීම සඳහා ඇතැම් විදේශීය බලවේග උත්සාහ දරමින් සිටිති. එයට සහය දී රට පාවාදීමට ඇතැම් දේශීය පිරිස්ද එකතු වී සිටීම දැඩි ව හෙළා දැකිය යුත්තකි. 1815 දී අපේ රටට නිදහස අහිමිවූයේ ද මෙලෙස පාවාදුන් පිරිසක් රට තුළ ක‍්‍රියාත්මක වූ බැවිණි. ඒ ආකාරයට වර්තමානයේද රට පාවාදීමේ කුමන්ත‍්‍රණ මේ වන විටත් දියත් වෙමින් පවතී.

     යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කරනු ලැබීම එහි එක් ප‍්‍රතිඵලයක් යැයි ද අමාත්‍යවරයා පෙන්වාදෙයි. මේ තත්ත්වය අවබෝධ කොට ගෙන නිදහස් නිවහල් ඒකීය රටක් ලෙසට ශ‍්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා අප සියලුදෙනා එක්ව බුද්ධිමත්ව තීරණ ගත යුතු කාලය දැන් එළඹ ඇත. එබැවින් යුරෝපා සංගමයේ මෙම ක‍්‍රියාකලාපය හෙළා දකිමින් ශ‍්‍රී ලාංකීය අප ඊට නිසි ප‍්‍රතිචාර දැක්විය යුතුය. ඒ සඳහා සියලු දෙනා මෙම වැඩසටහනට සම්බන්ධ වී තම අත්සන යොදමින්, ඊට සාමකාමී ව විරෝධතාව දක්වන ලෙසට අමාත්‍යවරයා, දේශයට ලැදි ඒකීය රටක් අපේක්‍ෂා කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


    මෙම අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, වයඹ පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම, උතුරු මැද පළාත් ප‍්‍රවාහන අමාත්‍ය එච්.බී. සේමසිංහ, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා, පළාත් ප‍්‍රවාහන අමාත්‍යාංශයන්හී ලේකම්වරුන්, පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීන්හී සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන්, උතුරු පළාත් දිසා ලේකම් කාර්යාලයන්හී නියෝජිතයින්ද, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීහු ද එක් ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya