අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “පුරදොර සෙවණ” ආරක්ෂක ලේකම් සුරතින් ජනතා අයිතියට

    සැප්තැම්බර් 15, 2014

    කොළඹ ප්‍රදේශයේ පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිත ව ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමේ අරමුණින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අධීක්ෂණය හා උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන ලද තවත් නිවාස සංකීර්ණයක් වන ඔරුගොඩවත්ත “පුරදොර සෙවණ” නිවාස සංකීර්ණය අද (15) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.


    මෙම නිවාස සංකීර්ණයේ සියලු පහසුකම්වලින් සමන්විත නිවාස ඒකක 34ක් ඇත.‍ විවෘත
    කිරීමෙන් අනතුරුව සිය අදහස් ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා මෙසේ පැවසීය."ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම නිවාස වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි. එමඟින් කොළඹ පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත් වූ අඩු පහසුකම් සහිත ජනතාවට වඩා හොඳ නිවසක් හා ජීවත්වීමේ පරිසරයක් ලැබුණි.

     

    මෙම ව්‍යාපෘතිය මඟින් අනාගත පරම්පරාව (ඔවුන්ගේ දරුවන්) ඉහළ ම ප්‍රතිලාභය ලබනු ඇත. මෙම වසරේ පමණක් මේ වන විට නිවාස 5000ක් එවැනි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදී තිබේ. මෙවන් තවත් නිවාස 20,000ක් ඉදිකරමින් පවතී. ඒ අනුව අනාගතයේදී කිසිම යටිතල පහසුකමක් නැති අහිතකර පරිසරයක වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වලට මීට වඩා හොඳ පරිසරයක, වඩා හොඳ ජීවන මට්ටමක් ළඟා කර ගත හැකියි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ ජනාධිපතිතුමාගේ ඒකායන පර්මාර්ථය වූයේ කොළඹ ප්‍රදේශයේ වාසය කරන සෑම කෙනෙකුට ම වඩා හොඳ පරිසරයක වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමයි. ඒ සඳහා කොළඹ නගරයේ දීර්ඝ කාලීන ව තිබූ ප්‍රශ්න වන ජල ගැලීම් පාලනය කර නගරයේ දිනපතා එකතුවන කැළිකසල බැහැර කිරීම මේ වන විට සිදු කරන නිසා ඒවාට ස්ථිරසාර විසඳුම් ලබාදී තිබේ. නගරය අලංකරණය කිරීම හා නව ආයෝජන අවස්ථා ඇති කර ඇත. ඒ තුළින් නගරය තුළ වෙසෙන ජනතාවට ද නව ආදායම් ඉපයීමේ ක්‍රම උත්පාදනය වී තිබේ. එහි ප්‍රයෝජනය අත්වනුයේ කොළඹ නගරය තුළ ජීවත්වන ජනතාවටයි. මේ අනුව ජනතාවගේ ජීවන මට්ටම නගාසිටුවීම සඳහා සියලු ම පියවර රජය විසින් ගෙන ඇත. මෙම නව නිවාසවල පදිංචි වන අය ද මෙය මනාව තේරුම් ගෙන ඒවා වඩා හොඳින් පවත්වාගෙන යාම සඳහා ඉතා උනන්දුවෙන් යුතු ව වැඩ කටයුතු කළ යුතුයි".

     

    මෙම සංවර්ධන ක්‍රියාදාමයේ නියමුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද්, රණ විරු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ඒ. ප්‍රියශාන්ත යන මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරති.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya