අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ කාර්ය බලකායේ රණ විරු ගුණ සැමරුම් උළෙල උත්කර්ෂවත් ව

    සැප්තැම්බර් 02, 2014
    විශේෂ කාර්ය බලකායේ 30 වැනි රණ විරු ගුණ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (01) කටුබැද්ද වි‍ශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේදී පැවැත්විණි.


    පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ගේ දූ දරු, මාපිය, බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එම සැමරුම සිදුකෙරුණි.

     

    දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ දී දිවි දුන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 406 දෙනකු සහ සිවිල් සේවකයන් 6 දෙනකු සිහිපත් කර එම සැමරුම් උත්සවය පවත්වනු ලැබූවේ 30 වැනි වරටය. 

     

    1983 සැප්තැම්බර් 01 වැනිදා යාපනය සහ පේදුරු තුඩුව අතර තික්කම් ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිවුදෙනකු ඝාතනයට ලක්වී තවත් 11 දෙනකු තුවාල ලබමින් කොටි බෝම්බයකට ඔවුන් ගමන් ගත් ට්‍රක් රථය හසුවීමේ සිද්ධියේ සිට මේ දක්වා අප රට වෙනුවෙන් දිවි දුන් සෑම රණ විරුවකු ම මෙහිදී සිහිපත් කෙරිණි.  

    විශේෂ කාර්ය බලකායේ එසේ ජීවිතය පූජා කළ රණ විරුවන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරිණි.

     

    එහිදී මියගිය සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන මහතාගේ දියණිය, ‍පොලිස් පරීක්ෂක සිල්වා, උප පොලිස් පරීක්ෂකවරුන් වන හෙට්ටිආරච්චි, සුමනදාස, ප්‍රේමරත්න, අනුර දීප්ති යන අයගේ දූ පුතුන් ද පොලිස් සැරයන්වරුන් වන පුෂ්පකුමාර, මංජුල, වික්‍රමරත්න, සිරිවර්ධන, ප්‍රේමසිරි සහ පොලිස් කොස්තාපල්වරුන් වන සුදත් කුමාර, ප්‍රභාෂ්වර, පියසේන, ප්‍රියන්ත සහ සිවිල් සේවක බන්දු යන අයගේ දූ දරුවන්ට මෙහිදී ශිෂ්‍යත්ව හිමිවිය. 

     

    විශේෂ කාර්ය බලකාය ආරම්භයේ දී සිට එහි නිලධාරියකු වූ වර්තමාන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙහි දී කතා කරමින් නිලධාරින් 60 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ කාර්ය බලකාය අද සාමාජිකයන් අට දහසකින් සමන්විත වෙයි. උතුරු නැ‍ගෙනහිර ත්‍රස්තවාදී භීෂණයේදී යුද හමුදාවට සහය පිණිස පිහිටුවන ලද මෙම විශේෂ කාර්ය බලකාය යුද්දෙන් පසු රටේ අපරාධ මැඬලීමට අවශ්‍ය මෙහෙයුම් වැටලීම් සිදුකරමින් ඒ සඳහා සුවිශේෂී දායකත්වයක් යොදවනු ලබයි. එහිදී යුද්ධයේ දී මෙන් රණ විරුවන් දැඩි කැපකිරීමෙන් වැඩ කර ඇති බව ද පොලිස්පතිවරයා පැවසීය.

     

    රට වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් වෙනුවෙන් කළ හැකි සෑම යුතුකමක් ම ඉෂ්ට කරන බව පැවසූ පොලිස්පතිවරයා රණ විරුවන්ගේ දහදිය කඳුළු මැදින් ත්‍රස්තවාදීන් පරාජය කර ලබා ගත් විජයග්‍රහණය වෙනුවෙන් අප ඔවුන්ට සැමදා ගෞරව කරන බව ද කීය. ආබාධිත තත්ත්වයට පත් හමුදා විරුවන් සහ මියගිය විරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරදීමට තමා සූදානමින් සිටින බව ද පැවසීය.

     

    මීට වසර සිය ගණනක සිට මෙරට අත්පත් කර ගැනීම සඳහා යුද්ධ කළ සෑම ආක්‍රමණිකයකුම පරාජය කර රට ආරක්ෂා කර ගත් ඉතිහාසයේ අපේ විරුවන්ගේ නාම ලැයිස්තුවට මෙසේ අද සිහිපත් කරන සෑම විශේෂ කාර්ය බලකා විරුවකුගේ ම නම ද එකතු වන බව ද ඔහු කීය.

     

    NDH/mod

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya