අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල්වල‍ට ජාතික නිවාස ප්‍රතිපත්තිය තුළින් වැඩි අවධානයක් Featured

    අගෝස්තු 21, 2014
    දිනකට රුපියල් 250ක දෛනික ආදායමක් ලබන 40%ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජාතික නිවාස ප්‍රතිපත්තිය තුළින් වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික නිවාස ප්‍රතිපත්තිය සහ  ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


    ඉදිකිරීම් ශිල්පීන්ට ගුණාත්මක පුහුණුව ලබාදීමේ  වැඩසටහන යටතේ  උතුරු නැගෙනහිර පළාත්වල ඉදිකිරීම් ශිල්පීන් 5000කට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ  වෘත්තීය පුහුණුව හා NVQ  සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිවාස ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (O.P.A.) නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (20) සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "ජාතික නිවාස ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විවිධ අමාත්‍යවරුන්ගේ පාලන කාලවලදී විවිධ උත්සහයන් ගනු ලැබුවා. පීටර් කෙනමන් මහතා නිවාස අමාත්‍යවරයාව සිටිය දී ජාතික නිවාස ප්‍රතිපත්තිය සඳහා මූලික කෙටුම්පත්  සැකසීමේ වැඩකටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව ෆෙරියල් අෂ්රොෆ් මහත්මියගේ පාලන සමයේදීත් ජාතික නිවාස ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව අවධානය යොමුකර තිබුණා. මේ කෙටුම්පත් දෙකම අපි පරිශීලනය කර, මේ පිළිබඳ මහජන සංවාදයක් ඇතිකර, විද්වතුන් හා වෘත්තිකයන්ව මේ පිළිබඳව දැනුවත් කර, පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට මේ නිවාස ප්‍රතිපත්තිය යොමු කර තිබේ. ඒ ඔස්සේ විවිධ දේශපාලන කණ්ඩායම්වල අදහස් හා යෝජනා රැස්කරගෙන මාධ්‍ය මඟින් ජනතාව කිරීමෙන් මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු ආරම්භ කළ බව පැවසීය.

     

    අද වන විට රටේ නිවාසකරණය සඳහා වැඩි යොමුවීමක් සිදුකරනු ලබන්නේ රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයයි. මේ නිසා විවිධ අංශ විවිධාකාරයෙන් රටේ නිවාසකරණය සඳහා  යොමුවන බව පැහැදිලිව පේනවා.  මේ නිසා නිවාසකරණය පිළිබඳව නෛතික  රාජ්‍ය වටිනාකමක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් විදිහට අපි දැක්කා. ඒ අනුව ජාතික නිවාසකරණය සඳහා  පූර්ණ කොන්දේසියක් සැකසීම හා ඒ සඳහා මූලික පාදම සකස් කිරීමේ අරමුණෙන් මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කරනු ලැබුවා.  2010 වසරේදී  අප අමාත්‍යාංශය භාර ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව 2010 වසර වන විට මේ රටේ නිවාස අවශ්‍යතාව  ලක්ෂ 12 ක් පමණ වන බවට තහවුරු වුණා. ඉන් අනතුරුව විවිධ අංශ මඟින්  සිදුකරනු ලැබූ නිවාසකරණ වැඩසටහන්වලට අනුව 2013 ජන හා සංඛ්‍යාලේඛන වාර්තා මඟින් රටේ නිවාස අවශ්‍යතාව ලක්ෂ 7 දක්වා අඩු වී තිබෙන බව අපිට පෙනී ගියා. 

     

    දෛනික ආදායම රුපියල් 250ක් වන පිරිස අපේ රටේ 40%ක ප්‍රමාණයක් සිටිනවා. ඒ 40%ක පිරිස මේ ලක්ෂ 7ක නිවාස අවශ්‍යතාවෙන් පෙළෙන පිරිසට අයත් වන බවද අපිට අවබෝධ වුණා. ඒ අනුව ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ 40%ක අඩු ආදායම්ලාභී ප්‍රජාව හා ඔවුන්ගේ නිවාස ගැටලු සම්බන්ධයෙන් ද අපේ විශේෂ අවධානය යොමු කරනු ලැබුවා.  මේ නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් රැස්වීම් 100කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කර මහජනතාවගේ, විද්වතුන්ගේ හා විවිධ වෘත්තිකයන්ගේ අදහස් හා යෝජනා ලබාගත්තා. එහිදී අපිට පැහැදිලි වුණා, උතුරේ අවතැන් වූ ජනතාවගේ නිවාසකරණය හා සම්බන්ධ ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙන බව. ඒ වගේම වතුකරයේ ජනතාවට තම නිවස පිහිටි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක්ම පවතින බව ද තහවුරු වුණා.

     

    2000 වසර වන විට කොළඹ නගරයේ මහල් නිවාස  සංකීර්ණයන් රැසකම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබුවේ රජය විසින් පිහිටුවා තිබුණු පොදු පහසුකම් මණ්ඩලය මඟිනි. නමුත් 2001 හා 2002 පාලන කාලයේදී පොදු පහසුකම් මණ්ඩලය අහෝසි කරලා ඒ වෙනුවට සිංගප්පූරු පනතකට අනුව නිර්මාණය කෙරුණු සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටවනු ලැබුවා. නමුත් සිංගප්පූරුවේ පනතේ තිබුණු එක් වැදගත් දෙයක්  මේ පනතේ තිබුණේ නැහැ. මම දන්නේ නැහැ ඒක කොහොමද නැතිවුණේ  කියලා.  ඒ තමයි රජය විසින් හදපු නිවාස සිංගප්පූරුවේ කුලියට මිසක් සින්නක්කරයට දෙන්නේ නැහැ.  කුලියට දෙන නිසා සිංගප්පූරු රජයට එම නිවාස යෝජනා ක්‍රමයේ අයිතිය අහිමි වෙන්නේත් නැහැ.  අයිතිය අහිමි නොවන නිසා එය නඩත්තු කිරීමේ වගකීමෙන් රජයට පලා යන්නත් බැහැ.  ඒ නිසා සිංගප්පූරුව වගේ රටවල මේක  කරලා තියෙන්නේ  සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වගේ අධිකාරියක් වෙනම නිර්මාණය කරලා  රජයේ නිවාස ක්‍රමවල නඩත්තුව හා පැවැත්ම රජය සතුව තියාගෙන.  හැබැයි අපේ වෙනසක් තියෙනවා. අපි රජයේ නිවාස යෝජනා ක්‍රම දීලා තියෙන්නේ සින්නක්කරව. කුලී නිවාස හිමියන් නෙවෙයි, ඒවායේ ඉන්නේ. බහුතරයක්ම ඉන්නේ සින්නක්කර නිවාස හිමිකරුවන්. සින්නක්කර නිවාස හිමියන් ඉන්න ගොඩනැගිල්ලක්  රජයෙන් ඇයි නඩත්තු කරන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා.  ඉතිං ඒ ප්‍රශ්නෙන් ගැළවෙන්න හදපු උත්තරේ තමයි අවසානයේදී මේ දෙගොල්ලන්ටම එකම හැන්දෙන් බෙදන්න හැදුවේ.  ඉතිං මේ වගේ නීතියයි ඇත්ත තත්ත්වයයි අතර අපි දැක්ක පරතරයත් ඒ සියලු කරුණුත් සැළකිල්ලට අරගෙන සුදුසු නිවාසකරණයක් සඳහා ජාතික වැදගත්කමක්  හිමි ජාතික නිවාස ප්‍රතිපත්තියක් සැකසීමයි අපේ අරමුණ වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ වගේම මේ නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී නාගරික, ග්‍රාමීය, ග්‍රාමීය දිළිඳු, මධ්‍යම පාන්තික, පහළ මධ්‍යම පාන්තික යනාදි සෑම ආර්ථික මට්ටමක්ම නියෝජනය කරනු ලබන රටවැසියන්ගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව අපේ අවධානය යොමු කරනු ලැබුවා.  ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ග්‍රාමීය නිවාසකරණය පිළිබඳව විශේෂ අවධානය යොමුකරලා තියෙනවා. කුලී නිවැසියන්ගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය විධිමත්ව දායක කරගන්නේ කොහොමද? රජය විසින් සකසා තිබෙන ජාතික ඉඩම් ප්‍රතිපත්තියට සමගාමීව නිවාසකරණයේදී  ඉඩම් භාවිතය සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිර්ණායකවලට එළිඹීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. නිවාසකරණයේදී ඉඩම් භාවිතය සිදුවිය යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නයට මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය මඟින් යෝජනා කරන්නේ හැකි සෑම අවස්ථාවකදීම තිරස් අතට  ගොඩනැගෙන නිවාස වැඩසටහන් වෙනුවට සිරස් අතට ගොඩනැගෙන නිවාසකරණ වැඩසටහන්  සඳහා යොමුවීම  සිදුකළ යුතුයි කියලා. ඒ තුළින් අපි අපේක්ෂා කරන්නේ නැහැ, අහස උසට ඉදිවූ මහල් නිවාස. අපි යෝජනා කරන්නේ මහල් 4ක, 5ක ප්‍රමාණයක උසට ගොඩනැගෙන නිවාසකරණ වැඩපිළිවෙළකි.

     

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  නියුතු ශිල්පීන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට ගුණාත්මක පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ තුළින් අපි අපේක්ෂා කරන්නේ විධිමත් ප්‍රමිතියකට අනුකූලව මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සිදුකිරීමටයි. ඒ අනුව ඉක්ටෑඩ් ආයතනය හරහා උතුරු නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන් 5000ක් සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව NVQ සහතික ලබාදීමට ඉදිරියේදී කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකසා තිබෙනවා.  ඒ වගේම අනෙක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ඉදිකිරීම්  ශිල්පීන්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කරලා තියෙනවා.

     

    මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම මුදල් අමාත්‍යාංශයෙන් පිටු  3කින් සමන්විත නිරීක්ෂණ වාර්තාවක් ලැබුණා.  ඒ වාර්තාවෙන් යෝජනා කරලා තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලාභ ලැබිය යුතු ආයතනයක් විය යුතු බවයි. ඒ තුළින් කියැවෙන්නේ නිවාස අධිකාරියත් පෞද්ගලික දේපොළ සංවර්ධකයන් මෙන් ඒ කටයුතු සඳහා යොමුවිය යුතුයි කියලා. එතකොට දෛනික ආදායම රුපියල් 250ක් පමණ වන 40%ක පමණ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සොයාබලන්නේ කවුද? නිවාස අධිකාරිය  තිබිය යුත්තේ ඒ අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකිරීම සඳහායි. එහෙම නැතිව නිවාස සංවර්ධන අධිකාරියත් පෞද්ගලික දේපොළ සංවර්ධකයෙන් සිදුකරන කාර්ය කිරීමට ගියොත් සිදුවන්නේ ඒ 40%ක පමණ පිරිසගේ නිවාස අවශ්‍යතාව ඉටුකිරීමට මැදිහත්වන රාජ්‍ය ආයතනයක් නොමැති වී යාමයි.

     

    ඒ නිසා ඒ ක්‍රියාපිළිවෙළ අපි අනුමත කරන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ නිවාස අවශ්‍යතාව ඉටුකරන ගමන් නිවාස සංවර්ධන අධිකාරිය සතු වාණිජ වටිනාකමක් තියෙන ඉඩම්වල මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයේ දේශීය ආයෝජකයන් සමඟ විවිධ නිවාසකරණ වැඩසටහන් පටන්ගෙන තියෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තියෙන නිරීක්ෂණ වාර්තාවට අපි ප්‍රති නිරීක්ෂණයක් ලබාදීලා තියෙනවා. ඒ තුළින් ඔවුන් ඉදිරිපත් කරපු නිරීක්ෂණ වාර්තාව වැරදි බව අපි පෙන්වාදී තිබෙනවා යැයි ද ඔහු කීය.

     

    එමෙන්ම අඩු පොලී නිවාස ණය වැඩසටහන යටතේ මේ රටේ නිවසකරණය සිදුකිරීමේ කාර්භාරය පිළිබඳව ද අපේ අවධානය මේ නිවාස ප්‍රතිපත්තිය මඟින් යොමුවෙලා තියෙනවා. වාර්ෂිකව අඩු පොලී නිවාසකරණය සඳහා බැංකු හා රජය මඟින් රුපියල් බිලියන 7ක් පමණ ප්‍රමාණයක් ආයෝජනය කරනවා. මේ අඩු පොලී නිවාස ණය රාජ්‍ය සේවකයාගේ හා ගමේ මිනිසුන්ගේ අතට ගියාම ඒ මුදල් සංසරණය වන්නේ අපේ රට තුළමයි. ඒ තුළින් විශාල ප්‍රතිලාභ රැසක් ගමේ ව්‍යාපාරිකයාටත් හිමිවෙනවා. මිනිසුන් නිවාස ණයක් අරගෙන ගෙයක් හදන්න පටන් ගත්තාම ඒ ගේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නේ ගමේ හාඩ්වෙයාර් එකෙන්. එතකොට මේ ලබාදෙන ණය මුදල සංසරණය වන්නේ ගමේ ව්‍යවසායකයන් අතරේ. ජාතික නිවාස ප්‍රතිපත්තියක් සකස් කිරීම තුළින් විධිමත් නිවාසකරණයක් සඳහා රාජ්‍ය මැදිහත්වීම ලබාදීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය හා විධිමත්භාවය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඉක්ටෑඩ්  ආයතනය අධිකාරියක්  බවට පත්කිරීම තුළින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතනික හා නෛතික ව්‍යුහය වඩාත් පුළුල් කිරීම අපේ අපේක්ෂාව වෙනවා" යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    පසුගිය දශක ගණනාවක් තුළ ශ්‍රී  ලංකාවේ ක්‍රියාවට  නැංවූ නිවාස හා ජනාවාසකරණයේ අත්දැකීම් එක්රැස්කොට “ මහින්ද චින්තන ඉදිරි දැක්ම  ” අනුව වර්තමානයේදී ක්‍රියාවට නැංවෙන “ ජන සෙවණ ”  ජාතික නිවාස වැඩසටහන වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත් අනාගතයේදී  මෙරට ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස වැඩසටහන් නිශ්චිත පොදු ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් ජාතික නිවාස  ප්‍රතිපත්තිය සකස් කර ඇත. 

     

    මෙහිදී විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය නියෝජනය කරන විවිධ වෘත්තිකයන්, විද්වතුන් හා අමාත්‍යවරයා අතර ජාතික නිවාස ප්‍රතිපත්තිය පිළිබඳව සුහද සංවාදයක් ද පැවැත්විණ. මීට අමතරව  විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපති වී. ගනේෂ් මහතා විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්  පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස හා  සංවර්ධන) කේ.ඒ. තිලකරත්න, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ,  ජන සෙවණ මහ ලේකම් කාර්යාලයේ  උපදේශක ලක්විජය සාගර පලන්සූරිය, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya