මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මානසික රෝග පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

    ජූලි 23, 2014
    මානසික රෝග සහ එම රෝගාබාධවලට ගොදුරු වූවන් කොපමණ ප්‍රමාණයක් අප රට තුළ සිටින්නේ ද යන්න සොයා බැලීම සඳහා ප‍්‍රථම වරට ජාතික සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැවසුවාය.  


    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2007 වසරේදී ශ‍්‍රී ලංකාවේ මානසික රෝගීන් පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඇත. ඉන්පසු මෙවැනි දීප ව්‍යාප්ත ජාතික මට්ටමේ සමීක්ෂණයක් මෙතෙක් පවත්වා නැත. වර්තමානයේ ජනගහනය ඉහළයාම සහ සමාජ සංකීර්ණතාව හේතුවෙන් බොහෝවිට විවිධ මානසික රෝග වැළඳීමට ඉවහල් වනු ඇත. මේ වන විට මෙරට ජනගහනයෙන් කොපමණ ප‍්‍රතිශතයක් මානසික ආබාධවලින් පෙළෙන්නේ ද? හා අප රටේ වැඩිපුරම දක්නට ලැබෙන මානසික රෝග කවරේද? යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණු වේ.

     

    නියාමන ව්‍යාපෘතියක් වශයෙන් මෙම වර්ෂයේදී කොළඹ දිස්ත‍්‍රික්කය ඉලක්ක කර ගනිමින් මූලික අධ්‍යයනයක් ප‍්‍රථමයෙන් සිදුකරනු ලබයි. එහි ප‍්‍රතිඵල සහ වැඩිදුරටත් අවධානය යොමුවිය යුතු කරුණු හඳුනා ගැනීම මඟින් 2015 වසරේදී මෙම මානසික රෝගාබාධ පිළිබඳ ජාතික සමීක්ෂණය පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදු කරන බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

     

    2007 සංඛ්‍යාලේඛන අනුව මෙරට ජනගහනයෙන් 1%ක් කුමන හෝ මානසික ආබාධයකින් පෙළෙන බව තහවුරු වී තිබේ. මෙම ජාතික සමීක්ෂණය මඟින් එම සංඛ්‍යාව වෙනස් වී ඇද්ද යන්න හඳුනාගැනීම එක් අරමුණකි. එමෙන්ම ඉදිරි කාලය තුළ මානසික රෝගාබාධ පිළිබඳ ප‍්‍රතිපත්තීන් සැකසීමේදී සහ රෝග සත්කාරක සේවාවන් සංවර්ධනයේදී මෙම පර්යේෂණය මඟින් ලබා ගන්නා තොරතුරු වැදගත් වන බවත් මෙම සමීක්ෂණය පිළිබඳ මූලික සාකච්ඡා මේ වන විට අවසන්ව ඇති බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

     

    NDH/SK-cmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya