අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සංහිඳියාව උදෙසා බලපාන ප්‍රධානම කාරකය මාධ්‍යයි Featured

    ජූලි 23, 2014
    සමාජ සංහිඳියාව උදෙසා බලපාන ප්‍රධානම කාරකය මාධ්‍ය බවත් මාධ්‍ය තුළ අපගේ දෛනික ජීවිතය සුවපත් කිරීමට මෙන් ම රෝගී කිරීමටත් ඉවහල් වන කරුණු පවතින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසීය.
     
    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති "සමාජ සංහිඳියාව සඳහා මාධ්‍ය භාවිතය" පිළිබඳ ව සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
     
    මාධ්‍ය හා අප අතර පවතින සබැඳියාව අනාගත සමාජයේ යහපත නිර්මාණය කිරීම සඳහා වඩාත් ඉවහල් වන බැවින් කාලානුරූපව අවශ්‍යතාව මත මාතෘකා යොදා ගනිමින් මෙවැනි සම්මන්ත්‍රණ ගණනාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද බවද මෙහිදී ඇතුගල මහතා පෙන්වා දුන්නේය.
     
    "අප ඉන්නේ මාධ්‍ය පිළිබඳ කතා කළ යුතු වැදගත් කාලයක. ලෝකයේ සියලු දෙනා අතර මාධ්‍ය හරහා මිත්‍රකම් ගොඩනැගෙනවා. විශේෂඥයින් පෙන්වා දෙන පරිදි ලෝකයේ තියෙන්නේ ප්‍රතිරූප ලෝකයක්. සියලු මාධ්‍ය අද රූපකාරක දේවල් තමන්ගේ මාධ්‍ය ඔස්සේ මුදාහරිනවා. 
     
    මේවායේ බලපෑම අපි සාකච්ඡා නොකළොත් ඉදිරියේ දී සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනට හා යහපතට එතරම් සුභදායක නොවන බවයි සන්නිවේදන විශේෂඥයින්ගේ මත වෙලා තියෙන්නනේ" යැයි ද කීය. 
     
    සමාජ සංහිඳියාව උදෙසා බලපාන ප්‍රධානම කාරකය මාධ්‍ය බවත් මාධ්‍ය හා සමාජ විවිධත්වය අතර පවතින ගනුදෙනුව පිළිබඳ ව විශ්ව සාකච්ඡාවක් පවතින බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා මාධ්‍ය පිළිබඳ හැදෑරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විශ්ව ආකෘතියක් හඳුන්වාදී‍ නොමැති බවත් ඒ ඒ රට රටවලට ගැළපෙන ආකාරයෙන් මාධ්‍ය භාවිතය සිදුවන බවත් පෙන්වා දුන්නේය.
     
    "මාධ්‍ය නිදහස, හුදු මාධ්‍ය නිදහසක් නො ව එයට තවත් කාරණා කිහිපයක් සම්බන්ධවන බව යුනෙස්කෝව මෑතකදී පෙන්වා දෙන කරුණක්. ඉන් පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න. දෙවැන්න සංවර්ධනය, රටක සංවර්ධනය උදසා මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේද යන්න. තුන්වැන්න සංවාදය, සමාජ සංවාදයට කොතෙක් දුරට මාධ්‍ය ඉවහල් වෙනවාද යන්න කියන කරුණු කිහිපය". 
     
    මාධ්‍ය නිදහස තුළ මාධ්‍යකරුවාගේ අයිතිය සහ ආරක්ෂාව මෙන්ම ග්‍රාහකයාගේ ආරක්ෂාවත් ඔවුන්ගේ නිදහසත් විවේකයත් පිළිබඳවත් සිතීමට විවිධ සාකච්ඡා දියත් කළ යුතු බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සිහිපත් කළේය. 
     
    බහු මාධ්‍ය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ගමන වේගවත් කරනවා මෙන් ම අඩාල කරන අවස්ථාත් ඇති බව මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහත්වරුන් ද මාධ්‍යවේදීන් සහ පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya