මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.එස්. සේනානායක මැතිතුමා අපට පොදු අනන්‍යතාවයක් ලබා ගැනීම සඳහා කටයුතු කළා Featured

    මාර්තු 23, 2017

    ඩී.එස්. සේනානායක මැතිතුමා අපට පොදු අනන්‍යතාවයක් ලබා ගැනීම සඳහා කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා කර ගෙන ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් ඉදිරියට ගෙන යාමට බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කොළඹ, නිදහස් චතුරස්‍රයේ පැවැති ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ 65 වන ගුණ සමරු උත්සවය  අවස්ථාවට එක්වෙමිනි.


    ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගුණ සමරු උත්සවය සංවිධානය කළ කථානායකතුමාට සහ සංවිධායක මඩුල්ලට මගේ ස්තූතිය පුද කරනවා. ජාතියේ පියාණන් වූ ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ ජීවිතය කිසිවෙකුට අමතක කළ නොහැකියි. එතුමාගේ ජීවිතය පිළිබඳව කතා කිරීම වැදගත්. එවැනි චරිතවලින් අප කවුරුන්ද යන්න වටහා ගත හැකියි. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට නිදහස ලබාදීමට ක්‍රියා කළා පමණක් නොව, රට එක්සේසත් කිරීමටත් ක්‍රියා කළා.

    1815 වසරේ දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය පාලනයට නතු වුණා. වැඩවසම් රාජ්‍යයක්ව තිබූ උඩරට රාජ්‍යය ද සම්පූර්ණයෙන් නැති වී ගියා. එදා පටන් රටේ වැසියන් බ්‍රිතාන්‍ය රාජ්‍යයේ කීකරු වැසියන් බවට පත් වුණා. කීකරු වැසියන් බවට පත්වුව ද මේ දූපතේ සිටි ජනතාවට පොදු අනන්‍යතාවයක් තිබුණා. එංගලන්තයේ වැසියන් ද, රජතුමාගේ හෝ රැජිණගේ කීකරු වැසියන් බවට පත් වුණා. ඒ හේතුවෙන් ඔවුන්ට ද ඒ අනන්‍යතාවය සහ දේශප්‍රේමීත්වය තිබුණා. නමුත් එදා බ්‍රිතාන්‍ය කිරීටයේපක්‍ෂපාතී වැසියන් ලෙස, සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් ලෙස වැඩකටයුතු කළා. එදා පහත රට සිංහල ජනතාව වෙනුවෙන් මහමුදලිතුමාත්, වාසලමුදලිවරුත් සිටියා. උඩරට සිංහල ජනතාව වෙනුවෙන් මහාධිකාරම්, දෙවැනි අධිකාරම්, දිසාවේවරුන් සිටියා. දෙමළ ජනතාව වෙනුවෙන් අධිකාරම්වරු සහ මුල්ලියර්වරු සිටියා.

    එදා අප පළමුව සටන් කළේ අභ්‍යන්තර පාලන බලය ලබා ගැනීමටයි. ඒ අනුව සර්ව ජන ඡන්ද බලය ලබා ගත්තා. සර්ව ජන ඡන්දය බලය ලබාගත් අවස්ථාවේ දී, පක්‍ෂයක්, කැබිනට් ක්‍රමයක් නොමැති බව ඩී.එස්. සේනානායක මැතිතුමාට වැටහුණා. අප තේරී පත් වන්නේ පුද්ගල භාවය පදනම් කරගනිමිනුයි. ඒ අනුව රටක් නිදහස් වීමට හෝ නිදහස ආරක්‍ෂා කර ගැනීමට හැකි වන්නේ නැහැ. දෙවන ලෝක යුද සමයේ ශ්‍රී ලංකාව නිදහස කරා අවතීරණය වෙමින් පවතින විට ඩී.එස්. සේනානායක මැතිතුමා අපට පොදු අනන්‍යතාවයක් ලබා ගැනීම සඳහා කටයුතු කළා. ඒ තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය. ශ්‍රී ලාංකිකයන් ලෙස කියූ පමණින් තමන්ගේ සිංහලකම නැති කරන්න යැයි පැවසුවේ නැහැ. ඒ පිළිබඳව ආඩම්බර විය යුතු බව පැවසුවා. එමෙන්ම ද්‍රවිඩකම, මුස්ලිම්කම නැති කරන්න කීවේ නැහැ. ඒ පිළිබදව ආඩම්බර වෙන්නැයි එතුමා පැවසුවා.

    සිංහල වුවත්, ද්‍රවිඩ වුවත්, මුස්ලිම් වුවත්, බර්ගර් වුවත් අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස කීමට හැකි විය යුතු බව එතුමා කියා සිටියා. එදා ඩී.එස්. සේනානායක මැතිතුමා කැප වී ක්‍රියා කළේ එම අනන්‍යතාවය ඇති කිරීමටයි.

    එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන අවස්ථාවේ දී ඩී.එස්. සේනානායක මැතිතුමා පැවසුවේ නිදහස ලබනවා වගේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආරම්භ කරන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බවයි. ඒ වගකීම ඉටු කිරීමට එක්සත් ජාතික පාක්‍ෂිකයන් ලෙස අප බැඳී සිටිනවා.

    එතුමා ජාතික ගීතයේ එන “එක මවකගෙ දරු කැළ” යන අදහසින් යුතුව කටයුතු කළා. ජාතික ධජයට දෙමළ, මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවය ඇතුළත් කිරීමට පියවර ගැනුණා. ඊට සියලූ දෙනාටම පොදු සං ඥා ඇතුළත් කරමින් රට පාලනය කිරීමට පියවර ගත්තා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් පසු වැඩිකල් නොගොස් මේ රට ජාතිවාදයට, ආගම්වාදයට බෙදුණා. එයින් ගොඩ ඒමට අපට අවුරුදු 30 – 40 ක් ගතවුණා.

    1947 වර්ෂයේ එතුමා බෙදුම්වාදය නතර කළේ අප සිංහල, දෙමළ, මුස්ලිම් යන බේදයකින් තොරවයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් රට එක්සේසත් කළා. ථෙරවාද බුද්ධාගම, සිංහල සංස්කෘතිය, ඉතිහාසය පිළිබඳව අපි ආඩම්බර විය යුතුයි. ඉන්දියාවේ ද්‍රවිඩ ජාතීන්ට වඩා වෙනස් සංස්කෘතියක් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින්ට තිබෙනවා. ඒ
    පිළිබඳව ආඩම්බර විය යුතුයි. එමෙන්ම හින්දු ආගම පිළිබඳව ද ආඩම්බර විය යුතුයි. මුස්ලිම්, ක්‍රිස්තියානි, බර්ගර් ජාතීන්ගේ අනන්‍යතාවය පිළිබඳව ද ආඩම්බර විය යුතුයි. අවසානයේ අප සියලූ දෙනා ආඩම්බර වන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙනුයි. ඩී.එස්. සේනානායක මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වූ අවස්ථාවේ දී විපක්‍ෂයේ සිටියේ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට්

    පක්‍ෂයයි. එදා ඒ අය පවා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගත්තා. එදා තිබුණේ අද පවතින දේශපාලන වාතාවරණයට වඩා වෙනස් වතාවරණයකුයි. විවිධ දේශපාලන කණ්ඩායම් සිටිය ද එදා ජාතිවාදය ඇති වූයේ නැහැ. යම් අවස්ථාවල දී ඉතා අමාරුවෙන් වුව ද, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්‍ෂා කර ඉදිරියට ගියා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා කර ගෙන ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් ඉදිරියට ගෙන යාමටයි. දේශපාලන විසඳුමකට පැමිණ ලබන වසරේ 70 වැනි නිදහස් සැමරුම සමරන අවස්ථාවේ දී මීටත් වඩා ඉහළින් ශ්‍රී ලාංකික අනත්‍යතාවය තහවුරු කිරීමට අප කටයුතු කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya