අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පිරිසගේ අදහස් සමඟ හොඳ අනාගතයක් ගොඩනැගීමට එක් වන්න - අගමැති Featured

    මාර්තු 20, 2017

    රජයේ  අවශ්‍යතාවය තරුණයන්ට අනාගතයක් ලබාදීම බවත් ඔබේ අදහස් ලබාගෙන සමාජය ගොඩනැගීමට ඔබගේ අදහස් ලබාදෙමින් අප සමඟ එක්වී කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටි.

    සංවර්ධන මෙන්ම රැකියා වැඩකටයුතු සාර්ථක කරගන්න සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


    නෙළුව, හප්පිටියේ පසුගියදා පැවති තරුණ සේවා "ගමට කෝටියක්" වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනූ "රිදී තරු" පාලම නිරීක්ෂණය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව පැවසීය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "රිදී තරු පාලමට හරිනම් රන්තරු පහක් ලබා දිය යුතුයි. අප මේ පාලම ඉදි කිරීමට රුපියල් 75000 ක් ලබා දුන්නා. ඒ මුදල ප්‍රයෝජනයට ගෙන රුපියල් ලක්‍ෂ 43 ක් වටිනා පාලමක් ඉදිකර තිබෙනවා.

    මේ පාලම ඉදිකිරීමේ අදහස දුන් දිල්කි ඇතුළු තරුණ පිරිස ඉදිකර තිබෙන්නේ නිකම්ම පාලමක් නොවේ. මේ පාලම මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. මෙය තරුණ තරුණියන්ට නායකත්වය ගෙන ගම දියුණු කළ හැකියැයි පෙන්වන වැඩසටහනක්. මෙහි තිබූ ඒදණ්ඩෙන් වැටීම නිසා දිල්කිගේ පියාගේ ජීවිතය නැති වුණා. ඒ නිසා මේ පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් දිල්කිටත් සහෝදරියන් දෙදෙනාටත් පෞද්ගලික හේතුවක් තිබුණා. නමුත් එම අවශ්‍යතාවය මුළු ගමටම පොදු අවශ්‍යතාවයක් වුණා.  

    මේ ගමේ යෞවන සමාජයට සහ මුදල් ලබාදුන් සියලුදෙනාටම ස්තුතිවන්ත විය යුතුයි. අප මේ මුදල් ලබාදෙන්නේ ගම්වල වැඩ කටයුතු කරන්නටයි. මේ කාර්යයන් සඳහා ලැබෙන 75000 ක මුදල ප්‍රමාණවත් නැති බව මෙහිදී අදහස් පළ වුණා. එම නිසා ඊළඟ වාරයේ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් දෙන්නම්.  එයින් ඔබ වැඩ ආරම්භ කරන්න. අප බලාපොරොත්තු වූයේ රුපියල් 75000 ක් දී ඒවගේ තුන් ගුණයක් වටිනාකම ඇති වැඩක් තරුණයින් විසින් සිදු කිරීමයි. එනම් දෙලක්‍ෂ විසිපන්දහසක් වටිනා කාර්යයක් කිරීමයි.  

    අප මුළු රටටම එකොළොස් කෝටි විසිපන් ලක්‍ෂයක මුදලක් දුන්නා. දැන් රටට ලැබී ඇති වැඩකටයුතු වල වටිනාකම රුපියල් කෝටි හතලිස් හතයි. අප කෝටි 11 ක් දීමෙන් ආණ්ඩුවට කෝටි හතලිස් හතක ප්‍රතිලාභයක් ලැබී තිබෙනවා. එසේනම් රුපියල් කෝටි 36 ක අමතර ලාභයක් ලැබී තිබෙනවා. කිසිම විමධ්‍යගත ව්‍යාපෘතියකින් මෙවැනි ප්‍රතිලාභයක් ලැබී නැහැ.
     
    මේ වැඩසටහනින් හොඳ ව්‍යාපෘති සඳහා එනම් පස් ගුණයක් වටිනාකම ලැබූ ව්‍යාපෘති කළ අයට කොන්ත්‍රාත් පැවරීමටත් අප කටයුතු කරමු. අප මුළු රටටම මේ කතාව කිව යුතුයි. අප තරුණයන් සඳහා රුපියල් කෝටි 11 ක් දුන් පසුව තරුණයන් අපට නැවත කෝටි 43 ක් දුන්නා. අප දුන්නාට වඩා තුන් ගුණයකටත් වඩා ඔවුන් ලබා දී තිබෙනවා.

    මේ ව්‍යාපෘති සඳහා ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයක් ලබාදුන්නා සේ දිස්ත්‍රික් මට්ටමින්ද හොඳම ව්‍යාපෘති තෝරා ත්‍යාග ලබා දෙමු.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාතේ අඩු ආදායම් ලාභීන්ට මැටි ඇතිරූ නිවාස වෙනුවට සිමෙන්ති ඇතිරූ නිවාස, මහනුවර තරුණ ගොවිපොළ, කොග්ගල දිස්ත්‍රික්කයේ දළුක විහාරස්ථානයේ සිට කන්ද මුල්ල විදුහල දක්වා වන මාර්ගය ඉදි කිරීම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන පුස්තකාලය සහ ග්‍රාම නිලධාරී කාර්යාලය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ගල්කඩ පතන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම, ආදී සාර්ථක ව්‍යාපෘති රාශියක් තිබෙනවා. මමත් හැකි අයුරින් එම ස්ථානවලට ගොස් තරුණයන් සමග සාකච්ඡා කරන්න මා කල්පනා කළා.
    ගමේ පාරවල් හදලා නැතැයි අප හැමදාම රූපවාහිනියෙන් දකිනවා. ඒක හදලා නැහැ. මේක හදලා නැහැ කියමින් සමහර රූපවාහිනී හැමදාම කෑගහන අයුරු අපට නිතරම පෙනෙනවා. වසරේ දවස් තුන්සිය හැටපහෙන් එක දවසක්වත් මේ සංවර්ධන ව්‍යාපෘති පෙන්වන්නැයි අපි ඔවුන්ට යෝජනා කරමු. ඇතැමුන් පාර හැඳුවේ නැතැයි කියමින් අඬාවැටෙද්දී තරුණයින් මුදල් හොයාගෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදුකර තිබෙනවා. දැන් මේ ගම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති පෙන්වන්න ගියොත් වෙනම නාලිකාවක් දෙන්නට සිදුවේවි.

    අපි ගමේ වැඩකරන අය පිළිගෙන ඔවුන් හඳුනාගනිමු. තරුණයන්ට අප දිය යුතු අනාගතය කුමක්ද? ගම ශක්තිමත් කිරීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය ගෙන ඒමට අප කටයුතු කරනවා. ඒ වාර්තාව දැන් පිටවී තිබෙනවා. ඒ වාර්තාව මේ හැම යෞවන සමාජයකටම එවන්න. ඒ වාර්තාව අධ්‍යයනය කර තරුණයන්ගේ අදහස් අපට ලබා දෙන්න. ඒ අදහස් ද ගෙන අප ග්‍රාම රාජ්‍ය ඇති කරන්නම්. එවිට ගමේ අදහස්ද නිල මාර්ගයෙන් හැම කෙනෙකුටම ලබාගත හැකියි.

    අප තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසැඳුම් සොයාගත යුතුයි. යහපාලන රජයේ ප්‍රධාන බලාපොරොත්තුව ඒ ප්‍රශ්නයට විසැඳුම් ලබා ගැනීමයි.

    මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අපේ මූලික ඉලක්කයක් වුණා. දැන් එහි ප්‍රශ්නයක් නැහැ. ෆේස් බුක්, ඔන්ලයින් හැම තැනක අපට දොස් කියන්න පවා දැන් නිදහස තිබෙනවා. බනින්නේ නැති දවසක් නැහැ. ඡන්දෙ කාලේ එනකොට වස්දොස් යන්නත් එක්ක ඕනතරම් බනින්න ඉඩ දෙන්නැයි මා දන්වා තිබෙනවා.

    දෙවනුව අප මේ රටට ස්ථිර සාමයක් ඇති කරගත යුතුයි. ආපසු මැරෙන්න යන්න බැහැ. අපේ තරුණයන් කීදෙනෙකු මිය ගියාද? අපේ අරමුණ සාමය ඇති කර ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමයි. ලෝකය අප දෙස අවධානයෙන් සිටින්නේ ඒ නිසයි.

    අධ්‍යාපනය දියුණු කිරීම අපේ ඊළඟ අරමුණයි. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නර්තන, සංගීතය, ආදී විවිධ විෂය ක්ෂේත්‍රවල පුහුණුව දෙන්නම්.

    අපේ අනෙක් මූලික ඉලක්කය වී ඇත්තේ ආර්ථිකය නැංවීමයි. විශාල ඉදිරි දියුණුවක් ඇති කිරීමයි. අප දැන් දකුණෙන් එහි ආරම්භය තබා තිබෙනවා. එක්පැත්තකින් හම්බන්තොට වරායේ වැඩකටයුතු ඇරැඹිමට සූදානම් වෙනවා. එයින් රටට විශාල දියුණුවක් ලැබෙනවා.

    වැලිගම ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් චාලිමවුන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපයක් ආරම්භ කරනවා. එහි අක්කර 800 ක් පමණ තිබෙනවා. තවත් සංචාරක කලාප කිහිපයක්ම ඇරැඹිමට අප සැලසුම් කර තිබෙනවා.
     
    කොළඹට, මහනුවරට වගේම මේ ප්‍රදේශවලටත් ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබෙනවා. ඒ දියුණුවට තරුණයන් සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. තමන්ට කළමනාකාරිත්වය ඉගෙනගත යුතුනම්, ඒ සඳහා මුදල් නැතිනම් උපාධියක් හදාරන්නේ කෙසේද? අප ඔවුන්ට ඒ අවස්ථාව ලබාදිය යුතුයි. එලෙස සියලුම දෙනාට දියුණුවෙන්න, ඉදිරියට යන්න අවස්ථාව ලබාදිය යුතුයි.
     
    රැකියා පුහුණුව, යෞවන සමාජ සහ ආණ්ඩුව, පෞද්ගලික අංශය එකතු වී මේ ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. තරුණ කණ්ඩායම් පුහුණු කරනවා නම් අප මුදල් ලබා දෙන්නම් යැයි හෝටල්වලට පවසන්නම්, සංචාරක ව්‍යාපාරයේ  විශාල වැඩසටහනක් කිරීමට පෞද්ගලික අංශය දැනටමත් ඉදිරිපත් වී තිබෙනවා.

    තරුණයන් ලෙස ඔබත් ඒ නායකත්වය අරගන්න. ඉදිරියට යන්න. පාලම්, වැව්, ක්‍රීඩාංගන, ගොවිපොළ හදන්න ශක්තිය තිබෙනවා නම් ගමේ ආර්ථිකයෙන් රැකියා බිහි කරන්නේ කෙසේදැයි මට කියන්න.

    මේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා තරුණයන් යොවුන් පුරයේදීත් සාකච්ඡා කර අපට කියන්න. අපට එකට එක්වී අවශ්‍ය ආධාර උපකාර ලබාදී ඒ වැඩකටයුතු කරගෙන යන්නම්.

    අපේ අවශ්‍යතාවය තරුණයන්ට අනාගතයක් ලබාදීමයි. ඔබේ අදහස් ලබාගෙන මේ සමාජය හැදීමයි. ඔබ සැමට හොඳ අනාගතයක් ඇති කර ගැනීම සඳහා අප සමඟ එකතු වෙන්න. සංවර්ධන මෙන්ම රැකියා වැඩකටයුතු සාර්ථක කරගන්න අපි එකතු වෙමු.

    එක් අයෙකු ගමේ කුඩා ව්‍යාපාරයක් පටන් ගත්තොත් තවත් වසර දෙකකින් ගමේ තවත් අයෙකුට රැකියාවක් ලබා දෙන්න ඔහුට ශක්තිය ලැබෙනවා.
    අපි අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා එකතු වෙමු. ඔබ බලාපොරොත්තුත වන රැකියා ඇති කරමු. හොඳ ස්ථීර ආදායම් මාර්ග ඇති කිරීම සඳහා ඔබේ අදහස් අපට ලබාදී අප සියලුදෙනාම එකතුවී ක්‍රියා කරමු. මට අද අවශ්‍ය වූයේ ඔබේ අදහස් ලබා ගැනීමයි. ඒ අදහස් ලබා ගැනීමට හැකි වුණා.
    මේ වැඩසටහන කළ ගමේ යෞවන සමාජයේ සැමට ස්තූතිය පළ කරනවා. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya