Print this page

මදුරු මර්දන සෞඛ්‍ය සේවා කාර්ය සහායක නිලධාරීන්ට පත්වීම් Featured

මාර්තු 19, 2017

මදුරු මර්දන සෞඛ්‍ය සේවා කාර්ය සහායක නිලධාරීන් වෙත පත්වීම් ප‍්‍රදානය ඊයේ (18) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී සිදුවිය.

ඩෙංගු මර්දනය කිරීම සඳහා මදුරු මර්දන සෞඛ්‍ය සේවා කාර්ය සහායක නිලධාරීන් 1500 ක් බඳවා ගැනීමේ රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණයට අනුව බස්නාහිර පළාතේ මදුරු මර්දනය සඳහා නිලධාරීන් 500 දෙනෙකු පළමු කණ්ඩායම ලෙස මෙහිදී පත්වීම් ලැබීය.
 
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

සති දෙකක පුහුණුවකින් අනතුරුව මෙම සෞඛ්‍ය සේවා කාර්ය සහායක නිලධාරීන් සේවයට මුදා හරිනු ලබන අතර පළමු මාස 06 ඇතුළත ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය අවම කිරීමට කටයුතු කිරීම මොවුන්ගෙන් අපේක්ෂා කෙරේ.

මදුරු මර්දනය සඳහා නිත්‍ය කාර්යය මණ්ඩලයක් පත් කළ 03 වෙනි රට ලෙස ශ‍්‍රී ලංකාව ඉතිහාස ගත වන අතර සිංගප්පූරුව සහ කියුබාව යන රටවල් මෙහි පෙරමුණේ සිටී.

රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක අමාත්‍යවරුන් ද, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සරත් අමුණුගම, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතු`ථ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.