අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දුම්රිය එන්ජින් 10 ක් හා බලවේග කට්ටල 6 කට ගිවිසුමක් අත්සන් කෙරේ

    මාර්තු 06, 2017

    දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව දුම්රිය එන්ජින් 10ක් සහ බලවේග කට්ටල 6ක් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල මිලදී ගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුම පසුගියදා දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න සහ නිෂ්පාදන සමාගමේ විධායක අධ්‍යක්ෂ පුනීත් කුමාර් (Puneet Kumar) යන මහත්වරුන් විසින් අත්සන් කළ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ කොන්සල්වරිය වන සුජා කේ. මෙනන් (Suja K. Menon) මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

     

    ඉන්දියානු සහන ණය (Indian Credit Line) ව්‍යාපෘතිය යටතේ දුම්රිය එන්ජින් 10 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක් සහ බලවේග කට්ටල 6 සඳහා ඩොලර් මිලියන 58 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.

     

    වර්තමානයේ දුම්රියෙන් මගීන්ගේ ගමනාගමනය සීඝ්‍රයෙන් වැඩි වීමත් දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් වලින් සියයට 55ක් වසර 30ක සේවා කාලයක් ඉකුත් වී ඇති නිසාත්, දුම්රිය මැදිරි 250ක් පමණ වසර 25ක් පමණ පැරණි වී තිබීම නිසාත් මෙම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල කඩිනමින් මිලදී ගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා මෙහිදී පැවසීය.

    මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ආරියරත්න මහතා පැවසුවේ මෙම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ඉන්දියානු දුම්රිය අමාත්‍යාංශය යටතේ රජය සතු “රයිට්ස්” (RITES) කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ඒවා බවය. විශේෂයෙන්ම මෙම දුම්රිය එන්ජින් යුරෝපීය තාක්ෂණයෙන් යුතුවන අතර ශ්‍රී ලංකාවේ දුම්රිය ඉංජිනේරුවරුන් සමග එක්ව මෙරටට ගැළපෙන පිරිවිතරයන්ට අනුව නිෂ්පාදනය වන බවත් වසර 1 ½ ක් පමණ කාලයක් තුළ මෙම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නිෂ්පාදනය කොට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි බවද පැවසීය.

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කොන්සල්වරිය වන සුජා කේ. මෙනන් මහත්මිය කරුණු දක්වමින් පැවසුවේ  වසර ගණනාවක් පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ඉතාමත් සහන පදනමක් යටතේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ණය ආධාර ලබාදීමට ඉන්දියානු රජය කැමැත්ත පල කර ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී දුම්රිය මාර්ග පුනරුත්ථාපනය, පැරණි දුම්රිය එන්ජින් අලුත්වැඩියා කිරීම, නඩත්තු කර්මාන්තශාලා සහ අංගන පුළුල් කිරීම, සංඥා පද්ධති නවීකරණය කිරීම, පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීම වැනි සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහන ණය ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී පැවසීය.

    මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී වරුන් වන ඒ.සී. අබේවික්‍රම, ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya