අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන කොමියුනිස්ට් පක්‍ෂ ජ්‍යේෂ්ඨ කණ්ඩායමක් අගමැති හමු වෙති

    පෙබරවාරි 24, 2017

    චීන කොමියුනිස්ට් පක්‍ෂය සමඟ සම්බන්ධකම් ඇති කරගත් ශ්‍රී ලංකාවේ මුල්ම දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව සිහිපත් කළ චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොං තඕ මහතා, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික පක්‍ෂ රජය චීනය සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගත් බවද අවධාරණය කළේය.

    අරලියගහ මන්දිරයේදී  ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින්, අමාත්‍ය සොං තඕ මහතා ප්‍රකාශ කළේ, චීන කොමියුනිස්ට් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති දීර්ඝ කාලීන සබඳතා පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා දරන ප්‍රයත්නයට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහ චීන මහජන සමූහාණ්ඩුවේ පූර්ණ සහය ලබා දෙන බවය.

    දේශීය හා විදේශීය වශයෙන් දේශපාලන සිතියමෙහි විවිධ වෙනස්කම් සිදු වුවද, ඒ හැම අවස්ථාවකම චීනය සහ ශ්‍රී ලංකාව සිය මිත්‍රත්වය අඛණ්ඩවම පවත්වාගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    ශ්‍රී ලංකාව වෙත දක්වන මිත්‍රත්වය හා සැලකිල්ල පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා, දෙපාර්ශවය අතර ඇති මිත්‍රත්වයේ අත්දැකීම් පදනම් කර ගනිමින් පිබිදෙන ආසියාව තුළ නිරූපණය කළ හැකි භූමිකාවන් පිළිබඳව අලුතින් සොයා බැලීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව සැම විටම නොබැඳි පිළිවෙත අනුගමනය කළ බවත්, අනෙකෙකුට තර්ජනයක් හෝ හිරිහැරයක් නොවන පරිදි සෑම රටක් සමගම ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රතිපත්තිය බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

    චීන ජනාධිපතිතුමන් ආරම්භ කළ ‘එක් මාවතක් – එක් තීරයක්’ වැඩ සැලැස්ම සඳහා ශ්‍රී ලංකාව සතුටින් දායක වන්නේ පෙර සඳහන් කළ ප්‍රතිපත්තිමය පදනම මත බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    හම්බන්තොට කර්මාන්ත පුරය සහ කොළම මූල්‍ය නගරය ඉදිකරලීම සඳහා චීනය දක්වන දායකත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා චීන මහජන සමූහාණ්ඩුව වෙත සිය ප්‍රසාදය පළ කළේය.

    ලබන මැයි මාසයේ චීනයේ පැවැත්වෙන ‘එක් මාවතක් – එක් තීරයක්’ ඉහළ පෙළේ සමුළුව සඳහා චීන ජනාධිපති ෂි ජින්පිං මහතා කළ ආරාධනය ද, මෙහිදී සොං අමාත්‍යවරයා විසින් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමුණු අතර, වික්‍රමසිංහ මහතා ආරාධනය පිළිගත්තේය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂියැන්ලියැං, චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා සහ අග්නිදිග ආසියා කලාපීය අධ්‍යක්‍ෂ ජෙනරාල් යුආන් චිබිං, කවුන්සලර් පෙං ඡූබිං, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ජා පෙං, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කෝ චිගැං, තෙවෙනි ලේකම් ටන් වේ, ප්‍රධාන සංධාන නිලධාරී ලියු ෂින්ලි, චීන තානාපති කාර්යාලයීය දෙවන ලේකම් ලියැං චිජුන් යන මහත්ම මහත්මීහු චීන දූත පිරිසට අයත් වූහ.

    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya