අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩ කිහිපයකට ප්‍ර‍මිති සහතිකය අනිවාර්ය කෙරේ

    පෙබරවාරි 21, 2017

    හෙල්මට් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් වෙනුවෙන් ප්‍රමිති සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටී.ජී.ජී.ධර්මවර්ධන මහතා පවසයි.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (21) පස්වරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    දැනටමත් හෙල්මට් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් 12දෙනෙකු ප්‍රමිති සහතික වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර, ඒ අය අතරින් SLS – 517 ප්‍රමිති සහතිකය සඳහා අදාළ සුදුසුකම් සපිරූ නිෂ්පාදකයින් සහ ආනයනය කරනු ලැබූවන් 05දෙනෙකු වෙනුවෙන් මේ වන විටත් ප්‍රමිති සහතික නිකුත් කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ‍මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම 2016 සැප්තැම්බර් මස 01 වන සිට බලපැවැත්වෙනු ඇත.

     

    එමෙන් ම SLS - 956 යටතේ නිකුත් කරනු ලබන GMP ප්‍රමිති සහතිකය ආහාරපානවල ප්‍රමිතිය වෙනුවෙන් නිකුත් කරනු ලබන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙම GMP ප්‍රමිති සහතිකය නිකුත් කිරීම සඳහා ද ප්‍රමිති සංග්‍රහයේ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු බවයි. ඒ අතර, පිරිසිදු බව, ආහාර වෙන්කර තැබීම, අමු ආහාර පිසූ ආහාර සමඟ ඇසුරුම් කර නොතිබීම, නියමිත උෂ්ණත්වයන් යටතේ ආහාර පිසීම, ඇසිරීම, ආහාර පිළියෙල කරන්නන්ගේ පුද්ගලික සෞඛ්‍යමය තත්ත්වය, නැවත නැවත රත්කර පිළියෙල නොකිරීම, ආහාර බහාලීමට අනුචිත ප්ලාස්ටික් භාජන භාවිත නොකිරීම, ආහාර දවටන යනාදිය නියමිත පරිදි පැවතී ම මෙහිදී වැදගත් වන බවයි. මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම 2017 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙනු ඇත.

     

    මේ වන විටත් අයදුම්පත් මේ සඳහා 30කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, මින් 20කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමිති සහතික නිකුත් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. වතුර බෝතල් සඳහා ප්‍රමිති පිරිවිතර SLS 1336 -2008  වන අතර, ඒ යටතේද විධිවිධාන නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රමිති සහතිකය ලබා ගැනීම 2016 සැප්තැම්බර මස 01 වන දින සිට බලපැවැත්වේ. දැනටමත් වතුර බෝතල් වෙනුවෙන් ප්‍රමිති සහතික ලබා ගැනීමට අයදුම්පත් 29ක් ලැබී ඇති අතර, මින් අවශ්‍ය සුදුසුකම් සපිරූ 16 දෙනෙකු වෙනුවෙන් ප්‍රමිති සහතික නිකුත් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ රසායනාගාර 06ක් ක්‍රියාත්මක වන බවයි. මේ අතර, රසායනික ද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවීන්, ආහාර පාන, රෙදිපිළි, ද්‍රව්‍ය, විදුලි උපකරණ වෙනුවෙන් මෙම  රසායනාගාර ක්‍රියාත්මක වේ.

     

    දැනට රජය විසින් ආනයන අපනයන පනත් විධිවිධාන යටතේ භාණ්ඩ 123ක් පරික්ෂාවට ලක්කරන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම භාණ්ඩ අදාළ ප්‍රමිතියට අනුකූල බවට සහතික වූ පසු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට මෙම භාණ්ඩ නිදහස් කිරීමේ හැකියාව ඇති බවයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන‍ය මගින් නිකුත් කර ඇති ප්‍රමිති සහතිකවලට අනුකූල සියලු සුදුසුකම් සම්පූර්ණ කර අදාළ සහතික ලබා ගැනීමට සියලු ම ‍නිෂ්පාදනකරුවන්, සේවාකරුවන් කටයුතු කළ යුතු බවද ධර්මවර්ධන මහතා එහිදී අවධාරණය කරනු ලැබීය.

     

    මෙවන් විධිවිධාන රැසක් යටතේ ප්‍රමිති සහතික නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ක්‍රියා කරනුයේ මහජනතාවට ඉතා හොද භාණ්ඩ හා සේවා ලබා දීමේ මූලික අරමුණ පෙරදැරි කර ගෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya