අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා බිහි කිරීමේ බාධක ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි - අගමැති Featured

    පෙබරවාරි 20, 2017

    රැකියා බිහි කිරීමේදී බාධක ඇත්නම් ඒවා ඉවත් කළ යුතු බවත් මීළඟ මාසය අවසන් වීමට පෙර  හම්බන්තොට වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජාතික ආණ්ඩුව පවතින තුරු මේ කිසි දෙයක් 2020 වනතුරු කාටවත් වෙනස් කළ නොහැකි බවත් මේ කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණ වාගේ නොව  අපේ තරුණ කැල එකට එකතු වුවහොත් එයට වඩා බලවේගයක් ඇති වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    හෙම්මාතගම නගරයේ පැවැති ජනහමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ බව පසුගියදා පෙන්වා දුන්නේය.


    අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "කබීර් හෂීම් ඇමැතිතුමා පැවසුවා හෙම්මාතගමට මුල්ගල් තිබ්බත් ජලය ලැබුණේ නැහැ කියලා. 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව රජ පවුල සම්පූර්ණයෙන් මුලින්උපුටා පැත්තකට දැම්මා. ඒ නිසා අද හෙම්මාතගමට ජලය ලැබුණා.

    ඇත්ත වශයෙන්ම මේ හෙම්මාතගම ජලනල යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නෙදර්ලන්ත රජතුමාගේ ආණ්ඩුවේ ආධාර නිසයි. ඒ නිසා පළමුවෙන්ම නෙදර්ලන්ත ආණ්ඩුවට ස්තූති වන්ත විය යුතුයි. දැන් ලක්‍ෂ දෙකක ආසන්න ජනතාවට ජලය ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ රවුෆ් හකීම් ඇමැතිතුමායි. අද මේ නාගරිකරණය, අර්ධ නාගරිකකරණය හා ජනගහනය වැඩිවීම නිසා අපට ජලනල යෝජනා ක්‍රම අවශ්‍යයයි. ඒ භාරදුර වගකීම එතුමා භාර අරගෙන තිබෙනවා. එයට අපි එතුමාටත් ස්තූති කළ යුතුයි. අපට තිබෙන්නේ මේවා ක්‍රියාත්මක කරන්න මුදල් ලබාදෙන්නේ කොහොමද කියන ඒක පිළිබඳව හොයලා බලන එකයි. අනෙක් කාරණය තමයි එක්සත් ජාතික පෙරමුණේ නායකයෙක් හැටියට මේ රටේ ජනතාව එකතු කරන්න, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරන්න එතුමා විශාල සේවයක් ඉටුකරනවා. අපි එකතුවෙලා මේ ගමන යා යුතුයි.

    කබීර් හෂීම් ඇමැතිතුමා ගැන මට අළුතින් කියන්න අවශ්‍ය නැහැ. එයට හේතුව එතුමා මේ මාවනැල්ලට වෙන් කරලා තියන මුදල් ගැන හිතුවම මම පුදුම වුණා. මාවනැල්ල, අරණායක, රඹුක්කන ප්‍රදේශ තව අපි දියුණු කළ යුතුයි. විශාල දියුණුවක් සමගින් මේ ප්‍රදේශයේ ජනතාවට යහපත් අනාගතයක් ලබාදීමටයි අප කටයුතු කරන්නේ කියලා මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ සමගම එතුමා ඇමැතිවරයෙක් හැටියට එදා බංකොළොත් වූ සංස්ථා ටික ලාභ ලබාදීමට කටයුතු කරනවා. ජනතාවට ශ්‍රී ලංකා ගුවන් සේවය පිළිබඳ තියන බර නැති කරන්නට කටයුතු කරමින් සිටිනවා. අවාසනාවට ඉතිරිවන්නේ රාජපක්‍ෂලාගේ ණය ගෙවන එක පමණයි. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් හැටියට මේ පක්‍ෂයේ වැඩකටයුතු කරලා මැයි මාසයේ සිට එක් අවුරුද්දක් අපේ පක්‍ෂය සම්පූර්ණයෙන්ම මුලසිට ප්‍රති සංවිධානය කරනවා. ඒ අවස්ථාවේදී අපේ පක්‍ෂයට වැඩ කරපු අය ගැනත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. දේශපාලන පලිගැනීම් ටික අපි අවසන් කරනවා. ඉන්පසු අපි මේ රටේ තරුණ තරුණියන්ට රැකියා හා ආදායම් මාර්ග ලබාදෙමු.

    මේ රට තියෙන තැනෙන් ආයේ ගොඩගන්න එකත් භාරදූර වගකීමක්. හිටපු ජනාධිපතිතුමා මේ රට දාලා දිව්වා. එයට හේතුව මේ ආර්ථිකය හදන්න බැරි බවත්, බඩුමිල වැඩි කරන්න සිදුවන බවත්, ලබාගත් ණය ගෙවන්න බැරි බවත් දැනගත් නිසා හිටපු ජනාධිපතිතුමා පසුව ඡන්දයකට ගියා.
    විපක්‍ෂය බෙදී ඇති නිසා ඡන්දය පවත්වා ජයග්‍රහණය කර බඩු මිල වැඩිකර, බදු වැඩි කරන්න. ඒ අය රතුපස්සල වගේ පුරුදුවෙලා සිටියේ උණ්ඩුයෙන් පිළිතුරු දෙන්න. නමුත් උණ්ඩයෙන් පිළිතුරු දෙන්න ඒ අයට බැරි වුණා. ජනතාව ඡන්දය භාවිත කරලා උණ්ඩය නැති කළා.

    නමුත් පසුව ඔවුන්, මමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ රට ගෙනියන්නේ කොහොමදැයි බලා සිටියා. හිටපු ජනාධිපති ඇතුළු කණ්ඩායම ආණ්ඩුව වැටේ යැයි බලා සිටියා. ජනවාරි මාසයේ ආණ්ඩුව ඔවුන් අතට ගන්නා බව පැවසුවා. මම සතියක් විදේශ සංචාරයේ නිරත වෙන බැවින් හැකි නම් ආණ්ඩුව අරගන්නැයි මා අභියෝග කළා. මම දැන් දෙවතාවක් රට ගිහින් ආවා. නමුත් කිසිදෙයක් ඒ අයට කරගන්න බැරිවුණා. අපි බලයට ඇවිල්ලා රජයේ සේවකයන්ගේ පඩි රු. 10,000 කින් වැඩි කළා. පුද්ගලික අංශයේ 2500 ක් වැඩි කළා. විශ්‍රාමිකයන්ට රු 1000ක් වැඩි කළා. ඒවගේම ලෝකයේ මිල අනුව තමයි ආහාර ද්‍රව්‍ය හා බඩු භාණ්ඩ අපි ජනතාවට දෙන බව පැවසුවා. අපි මේවායින් හම්බකරන්නේ නැහැ. ඒවගේම ණය ගෙවන්න භාවිත කරනවා. කිරිපිටි රු. 61 කින්, පාන් පිටි රු. 12.50 කින්, සිනි රු. 10 කින්, මුංඇට රු. 40 කින්, හාල් මැස්සන් රු. 15 කින්, සස්ටජන් රු. 100 කින්, ටින් මාළු රු 60 කින්, සහ පෙට්‍රල් රු. 33 කින්, ඩීසල් රු. 15 කින්, භූමිතෙල් රු. 32 කින් මිල අඩු කරලා දුන්නා.
     
    සහල් ගැන කතා කළොත් දැන් නියඟය නිසා දැන් ලංකාවේ සහල් නිෂ්පාදනය 30%ක් පමණයි. ඒ නිසා ඒ අඩුව පුරවන්න පිටරටින් හාල් ගෙන්වන්න අපි අවස්ථාව ලබාදී තිබෙනවා. හාල් ආනයනය කරන්න තිබුණ සියලුම බදු අපි ඉවත් කර තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද එනකොට අඩුවක් නැතිව හාල් ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරනවා කියලා කියන්න කැමැතියි. ගෑස් රු. 300 කින් අඩු කළේ කෙසේ දැයි ඔවුන් මගෙන් අහනවා. මේ නියඟය නිසා අපේ ජල විදුලි බලය ක්‍රියාත්මක වන්නේ නැහැ. අපට ඒ නිසා ඉන්ධන ගන්න තියෙනවා. අපට ලංකාවේ හාල් නිෂ්පාදන අඩු වුණ නිසා හාල් ලබාගැනීමට විදේශ විනිමය අවශ්‍ය වී තිබෙනවා. මේ සියලු ගැටලු පැවැතියත් හාල්වලට ඇති තීරු බදු සියල්ල ඉවත් කර ආනයනය කිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.

    අපි මිනිස්සු හාමතේ තියන්නේ නැහැ. අවශ්‍ය තරම් හාල් දැන් රට තුළ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. මීළඟ කන්නයේදී වැසි වසී කියලා වැස් නොමැති වුවහොත් ඒ කන්නයටත් හාල් ආනයනය කිරීමට සැලසුම් සූදානම් කර පවතින බව ප්‍රකාශ කරන්නට කැමැතියි.

    මේ රටේ ජනතාව අපිට ඡන්දය දුන්නේ බලාපොරොත්තු ඇතිවයි. ඒ ජනතාවත් එක්සත් ජාතික පාක්‍ෂිකයිනුත් අපි රැකගත යුතුයි. අද මේ ආණ්ඩුව නොතිබුණානම් එක්සත් ජාතික පාක්‍ෂිකයින් සිටින්නේ කොහෙද? 2014 දී පෙර ආණ්ඩුව පරාජයට පත්වන බව කළ මාගේ ප්‍රකාශය කී දෙනෙක් පිළිගත්තා ද? අපි මුලින්ම මේ රටේ ජීවන වියදම අඩුකරනවා, අපි ලෝකයේ මිලට බඩු භාණ්ඩ ලබාදෙන බව පොරොන්දු වුණා. ලෝකයේ භාණ්ඩ මිල අඩු වෙනවා නම් අපි අඩු කරනවා. අපි කිසිම විටක ලාභයන් ලභාගන්න යන්නේ නැහැ. ඒ සියල්ල අපි ළඟා කර දුන්නා. මීළඟට පැන නැගුණ ගැටළුව තමයි මේ පාර ඇති වුණු නියඟය. එහෙම වුණත් අපි ඔබට මඤ්ඤොක්කා කන්න කියා හෝ ආහාර නැති බව හෝ අපි ප්‍රකාශ කළේ නැහැ.
    මීළඟට මේ රටේ ණය ගෙවන එකයි අපට තියෙන්නේ. රාජපක්‍ෂ රෙජිමය මේ ණය ලබාගත්තා. අපි ඒ ණය ගෙවන්න බදු වැඩිකළේ නැහැ. අපි කළේ භාණ්ඩ මිල අඩුකර ණය බරත් අඩු කළා. තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේවැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. ඒසඳහා අලූත් කර්මාන්ත, අලූත් සංචාරක ව්‍යාපාර, අලුත් වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. මේ කලාපයට පොදුවේ අපි කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට අපි සාකච්ඡාවන් පවත්වාගෙන යන බව කියන්නට කැමැතියි. දැන් අපි මේ ගමන ඉදිරියට යනකොට ඒ සියල්ලටම බාධා ඇති කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. හම්බන්තොට වරාය දෙස බලන්න. එදා හම්බන්තොට වරාය කියන්නේ ලෝකයේ ලොකුම පිහිණුම් තටාංගනයයි. නැව් පැමිණෙන්නේ නැහැ. විශාල ණයක් ලබා තිබුණත් ඒවා ලබාගෙන තිබුණේ නැවත ගෙවන්නයි.

    හම්බන්තොට වරාය ආරම්භ කිරීමට ඩොලර් කෝටි 130 ක ණය ලබාගෙන තිබෙනවා. නැවත එම ණය ගෙවන්න 2017 දී ආරම්භ වනවා. මේ ණය අපි ගෙවනවා  නම් රටේ සෑම පුරවැසියෙක්ම රු. 12,000 ක් ගෙවිය යුතුයි. නමුත් අපි එය වෙනස් කළා. අපි එයට ගෙවන්න වෙන විදිහකට මුදල් හොයාගත්තා. ඒ වරාය අධිකාරියයි චීන සමාගමයි එකට එකතු වෙලා ඒකාබද්ධ සමාගමක් පිහිටුවාගත්තා. චයිනා මර්චන්ටි සමාගම අපට පොරොන්දු වුණා ඩොලර් කෝටි 110 ක් ලබා දෙන්න. අපට ණය විදිහට ඩොලර් කෝටි 130 ක් සම්පූර්ණයෙන් ගෙවන්න තියෙනවා. අපිට දැන් ගෙවන්න තියෙන්නේ ඩොලර් කෝටි 20 ක් පමණයි. එහෙම නැතුව රාජපක්‍ෂ ක්‍රමයට ගියානම් සෑම පුරවැසියකුටම රු. 12,000 බැගින් ගෙවීමට තිබුණා. හම්බන්තොටට කර්මාන්ත ශාලා 200 ක් – 300 ක් ගේන්නත් සැලසුම්කර තිබෙනවා. පළමු අවුරුද්ද තුළදී රැකියා 10,000 ක් ලබා දෙනවා.
    ඊට අමතරව කෑගල්ල, රඹුක්කන පැත්තේ තව වෙළඳ කලාපයක්, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයේ තවත් වෙළඳ කලාපයක්, මාදම්පේ හලාවත ආසනයේ තව සංචාරක වෙළඳ කලාපයක්, යාපහුව තව කර්මාන්ත කලාපයක්, අවිස්සාවේල්ල කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත කලාපයන් තවත් ඇති කිරීමට කටයුතු කරනවා.

    ඕනෑම කෙනෙකුට මෙහි සේවය කරන්න පුළුවන් විදිහට අපි නිර්මාණය කරනවා. නුවරත් මහා සංචාරක කලාපයන් අපි ආරම්භ කරනවා. මෙවැනි තවත් වැඩකටයුතු ගණනාවක් තියෙනවා. නමුත් රජතුමාගේ අය කිව්වේ මේ වැඩ කොටස පටන් ගත්තොත් අපි කපෝති යනුවෙනි. ඒ නිසා මෙම වැඩ කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරනවා. දැනටමත් හම්බන්තොට වරායට කොළඹවරායේ ආදායමෙන් ගෙවීම් කර තිබෙනවා. දැන් මෙය නතර කර හමාරයි.

    වාසුදේව නානායක්කාර මහතා නඩුවක් දමා තිබෙනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ නඩුව දමා ඇත්තේ මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් රු. 12,000 බැගින් ණය ලබාගන්නා ලෙසටයි. වාසුදේව මන්ත්‍රීතුමා ඇතුළු සමස්ත ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන්නේ තරුණයින්ට ලබා දෙන රැකියා සහ සංවර්ධනයන් නැවැත්වීමටයි. රැකියා ඇති කිරීමට කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණ අණුඩුවයි, ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. රැකියා නැති කරන්නේ රාජපක්‍ෂ රෙජිමයයි.

    රාජපක්‍ෂ රෙජිමය පවසන්නේ තමන්ග් අනාගතය නැති කළ නිසා තරුණ තරුණියන්ගේ අනාගතය ද විනාශ කරන බවයි. මම නම් කියන්නේ මේ රටේ ජනතාව එදා කුණු කඣඩයට දැම්මා කියලයි. අප ඒ කුණු කූඩය පිරිසිදු කර පියනකින් වසා දැමිය යුතුයි.
     
    තරුණයෝ ගණනාවක් අද අපට කතා කරලා තිබෙනවා. තරුණ ද්‍රෝහීන් ලෙස කටයුතු කරන රෙජිමයට විරුද්ධව අපි අපේ උද්ඝෝෂණ පටන් ගන්නා බවත් රැකියා ලබාදීමට එරෙහිව කටයුතු කළොත් කොළඹට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් සූදානම් බව ප්‍රකාශ කරලා තියෙනවා.

    ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේ සහයෝගය ලබා දෙන බවත් අපි කියන්න කැමැතියි. රැකියා බිහි කිරීමේදී බාධක ඇත්නම් අපි ඒවා ඉවත් කළ යුතුයි. මීළඟ මාසය අවසන් වීමට පෙර අපි හම්බන්තොට වැඩ ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ කිසි දෙයක් 2020 වනතුරු කාටවත් වෙනස් කළ නොහැකියි මේ ජාතික ආණ්ඩුව පවතින තුරු. මේ කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණ වාගේ නොව  අපේ තරුණ කැල එකට එකතු වුවහොත් එයට වඩා බලවේගයක් ඇති කළොත් කුමක් සිදුවේවිදැයි අපි කියන්නට අවශ්‍ය නැහැ.

    අපි සූදානම් රැකියා ලබාදෙන්න, ආදායම් මාර්ග ලබාදෙන්න, යහපත් අනාගතයක් ලබාදෙන්න. මෙයට කවුරු හෝ අකුල් හෙලූවොත් එයටද පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya