Print this page

GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට Featured

ජනවාරි 12, 2017
 
ශ්‍රී ලංකා නිෂ්පාදන වෙනුවෙන් ක්‍රියාත්මක වූ බදු ඉවත් කරමින්,  GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇත. ඒ අනුව ඇඟලුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා දැනට පවතින සියයට 66 ක බදු ප්‍රතිශතය මුළුමනින්ම ඉවත්වෙනු ඇත. 
එවකට පැවැති රජයේ අදුරදර්ශි ක්‍රියාපිළිවෙත හේතුවෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් GSP+ බදු සහනය 2007 වසරේදී සීමාකරනු ලැබූ අතර, 2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය. මෙමගින් ශ්‍රී ලංකාවට අහිමි වූ ආර්ථික පාඩුව රුපියල් කෝටි 37,500 ක් ලෙස ගණන් බලා ඇත.
 
මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, තිරසාර සංවර්ධනය, යහපාලනය හා පාරිසරික සුරක්ෂිතතාව, සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුති ක්‍රියාවට නැංවීමට වත්මන් ශ්‍රී ලංකා රජය දක්වන උනන්දුව සහ කැපවීම GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කිරීම කෙරෙහි බලැපෑ ප්‍රධාන සාධක වේ. 
 
යහපාලනය ස්ථාපිත කරමින් රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති වැදගත් තීරණ අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් යුරෝපා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 
 
ඊට අමතරව ළමා ශ්‍රමිකයන්ට එරෙහි ප්‍රඥප්ති, සංහිදියාව සහ වගවීම, සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතිය මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ආදි අන්තර් ජාතික සම්මූතිවලට අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා කොමිසම අගය කර ඇත.
 
යුරෝපා කොමිසමේ මෙම යෝජනාව යුරෝපා කවුන්සිලයේ සහ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලද විගස ක්‍රියාත්මක කෙරෙනු ඇත.