Print this page

කලා ශිල්පීන්ට රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් Featured

ජනවාරි 11, 2017

කාලයක් පුරා කලා ලොව ජය කෙහෙළි නංවා රටක් පින වූ එහෙත් ජීවිතයේ සැඳෑසමය දුෂ්කරව ගෙවන ටවර් හෝල් කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවති ටවර් හෝල් ශිල්පීන් හා ශිල්පිනියන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (10) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රාසාංගික කලාකරුවන් මෙන් ම පැරණි ටවර් හෝල් ශිල්පීන් විසින් ඉටු කළ මෙහෙය අගය කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ ටවර් හෝල්  ශිල්පි ශිල්පිනියන් 211 දෙනෙකුට රක්ෂණාවරණ ලබාදීමට අපේක්ෂිතයි. ඒ අනුව රුපියල් ලක්ෂයක උපරිම හදිසි අනතුරු රක්ෂණාවරණයක් හා රුපියල් 10,000 ක වෛද්‍ය රක්ෂණාවරණයක් මෙම ශිල්පීන්ට හිමි වේ.

ටවර් හෝල් රංගන ශිල්පීන් හා අමාත්‍යවරයා අතර පැවති සුහද සාකච්ඡාවේ දී ටවර් හෝල් රංගන ශිල්පීන් වෙත දැනට ගෙවනු ලබන රුපියල් 2,000 ක මාසික දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට කලාකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්  එම දීමනාව වැඩිකිරීම පිළිබඳව වහාම සොයා බලා කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මීට සමගාමීව ටවර් හෝල් රඟහල පදනම යටතේ නාට්‍ය හා රංග කලාව හදාරමින් දක්ෂතා දැක්වූ  සිසුවියන් සිව් දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු, ජාතික කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්  හා කලාකරුවන් රාශියක් එක්ව සිටියහ.