අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආයෝජන අවස්ථා ඇති කිරීම පිළිබඳව බ්‍රසල්ස් ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානය යොමු වේ Featured

    ඔක්තෝබර් 21, 2016
    ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙතින් ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබා ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වැඩි වැඩියෙන් සිදු කිරීම සඳහා ද තම උපරිම සහයෝගය ලබාදෙන බව බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවර ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් 20 වැනිදා සහතික විය. 
    නව රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සාර්ථක ගමනක් අරඹා ඇති බව මුළු ලොවම පිළිගන්නා අවස්ථාවේ ඒ සඳහා තමාගේ සහයෝගය ද ලබාදීමට හැකි වීම සතුටට කරුණක් බව ව්‍යාපාරිකයෝ එහිදී අවධාරණය කළහ.
     
    තමන් මේ මොහොතේ සනිටුහන් කරන්නේ ඇරැඹුමක් පමණක් බවත්, යුරෝපා සංගමය වෙතින් ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබා ගන්නා තුරුම බ්‍රසල්ස් ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව සමග සිටින බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවේ ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. 
     
    බ්‍රසල්ස් නගරයේ මැරියට් හෝටලයේ දී 20 වන දා පෙරවරුවේ පැවති මෙම ව්‍යාපාරික හමුව අමතා අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව බෙල්ජියම ඇතුලූ යුරෝපා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට හිතකර අවස්ථා රැසක් උදා වී තිබෙන බවයි. 
     
    ඉකුත් ජනවාරි 08 වැනි දා සිදු වූ සමාජ සහ දේශපාලන පරිවර්තනයත් සමග ලොව පුරා ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙත ලැබීමට යෝජිත යුරෝ මිලියන 210 ක ආධාර මුදල නිසා ශ්‍රී ලංකාව තුළ ආයෝජකයන් උදෙසා පහසුකම් තවත් පුළුල් කිරීමට හැකි වන බව ද අග්‍රාමාත්‍යවරයා කීය. 
     
    කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය තුළින් විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ කටයුතු කර ගෙන යාමේ දී ලැබෙන වාසි සහ වරප්‍රසාද පිළිබඳව දීර්ඝ විස්තරයක් කළ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. 
    රජයේ සංවර්ධන සැලසුම් යටතේ මහනුවර, කොළඹ, හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ඉදිකෙරෙන සංවර්ධන කොරිඩෝව පිළිබඳව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඒ තුළින් ආයෝජකයන්ට කෙටි කලක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ පහසුකම් සැලසෙන බව ද පෙන්වා දුන්නේය. 
     
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමට ඉතා උනන්දුවෙන් සවන් දුන් බ්‍රසල්ස් ව්‍යාපාරික ප්‍රජාව නව ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ගෙන යාමට ඇති හැකියාව පිළිබඳව කඩිනමින් කරුණු සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසීය. 
     
    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම හමුව අමතා අදහස් දැක්වීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya