මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම ජනමාධ්‍ය ආයතන තම පරිණතභාවය ප‍්‍රදර්ශනය කිරීමේ වැදගත්කම

    ඔක්තෝබර් 15, 2016

    සියලුම ජනමාධ්‍ය ආයතන තම පරිණතභාවය ප‍්‍රදර්ශනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

    "සියලු ජනමාධ්‍ය ආයතන වෙත ඉතා ගෞරවයෙනි,

    සියලුම ජනමාධ්‍ය ආයතන තම පරිණතභාවය ප‍්‍රදර්ශනය කිරීමේ වැදගත්කම

     ඕනෑම කාරණයකට අදාළව එහි ධනාත්මක හෝ සෘණාත්මක ප‍්‍රකාශනයන් සමාජගත කරනු ලබන්නේ ජනමාධ්‍ය ආශ‍්‍රිතවය. එවැනි ව්‍යායාමයක අවසාන ප‍්‍රතිඵලය රටටත්, ජාතියටත්, ජනතාවටත් කෙතරම් හිතකර හෝ අහිතකර වන්නේද යන පූර්ව තක්සේරු කිරීමක් මත පරිණත ජනමාධ්‍යවේදියා විසින් තම ස්ථාවරය සකසා ගන්නේය. එකී ශික්ෂණයෙන් තොරවූ කල්හි, ගින්නක් නොමැතිව වුවද රටක් ඇවිළ විය හැකිය. වර්තමානයේ එවැනි ඡායාවක පෙර නිමිති පහළවී තිබීම නිසා ඔබ අප සියලු දෙනා ඇතුළත් ජනමාධ්‍ය කේෂ්ත‍්‍රය කිසිදු පාපකාරී ඉදිරි ප‍්‍රතිඵලයකට දායක නොවී වඩා පරිණත හා සාධනීය මාධ්‍ය භාවිතයක් ප‍්‍රදර්ශනය කිරීමේ වැදගත්කම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පහත සඳහන් කරුණු ආශ‍්‍රිතව මම ඔබට අවධාරණය කරමි.

     

    පසුගියදා අතිගරු ජනාධිපතිතුමා විසින් සිය ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට අයත් අභ්‍යන්තර රැස්වීමකදී කරන ලද ප‍්‍රකාශයක්, ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමඟම කිසියම් ආන්දෝලනාත්මක සංවාදයක් මේ වන විට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ඇත. තවද අද දින ඊට අදාළ ප‍්‍රවෘත්ති සාකච්ඡා කීපයක් පැවැත්වෙන බවටද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ඇත. එබැවින් එකී සියලු තොරතුරු මහජනයා වෙත වාර්තා කිරීමේ දී ඔබට ලැබෙන පූර්ණ නිදහස තුළ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රතිරූපවලට කිසිදු හානියක් නොවන පරිදී එය සිදු කිරීමේ වැදගත්කම කෙරෙහි ප‍්‍රථමයෙන් මා ඔබගේ අවධානය යොමු කරවමි.


    තවද, රටේ අනාගතය තීන්දු කිරීමට පවා තුඩුදිය හැකි මෙවැනි සංවේදී අවස්ථාවන්හී දී මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ඔබ සතු සුවිශේෂි පරිණතභාවය හා ශීක්ෂණය හැකි උපරිම මාත‍්‍රාවෙන් භාවිතා කොට දැඩි සංයමයකින් යුක්තව ඔබ ඊට මැදිහත් වන බව මා උදක්ම විශ්වාස කරන අතර ඊට පහත සඳහන් කරුණුද  ඇතුළත් කර ගැනීම තුළ ඔබගේ කාර්ය භාරය වඩා දීප්තිමත්ව බබලනු නොඅනුමානය.


    පළමුව මා උපුටා දක්වනුයේ ‘‘සෑම කි‍්‍රයාවකටම ප‍්‍රතිකි‍්‍රයාවක් ඇත’’ යන විද්‍යාත්මක නියමයයි. දෙවනුව සඳහන් කරන්නේ ‘‘ කි‍්‍රයාවක් යන්නට අකරණයක් හෙවත් නොකර හැරීමක්ද ඇතුළත් වන්නේය’’ යන නෛතික සිද්ධාන්තයයි. තුන්වැන්න නම් ‘‘මතුපිටින් පෙනෙන්නට තිබෙන දේ යථාර්ථය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත.’’ යන ප‍්‍රකට කියමනයි.


    එකී කරුණු තුන වත්මන් ප‍්‍රස්තූතය සමඟ කෙසේ ගැලපෙන්නේදැයි මීළඟට විමසා බලමු. පළමුවැන්න ‘‘කි‍්‍රයාව’’ හා ‘‘ප‍්‍රතික‍්‍රියාව’’ පිළිබඳවය. අද දින පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡුා ඇතුළුව වත්මන් මාධ්‍ය කතිකාව නිර්මාණය වී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමාගේ ඉහත කී ප‍්‍රකාශය පදනම් කරගෙනය. ඒ අනුව එකී ප‍්‍රකාශය ‘‘ක‍්‍රියාව’’ ලෙසත්, සෙසු සියල්ල ‘‘ප‍්‍රතික‍්‍රියාව’’ ලෙසත් බැලූ බැල්මට පෙනීයන්්නේය. එහෙත් ගැඹුරින් විග‍්‍රහ කරන කල්හී ප‍්‍රත්‍යක්ෂ වන්නේ එකී ප‍්‍රකාශයද පෙර ක‍්‍රියාවක හෝ ක‍්‍රියාවලියක ප‍්‍රතික‍්‍රියාවක් ලෙසය. එකී පෙර කි‍්‍රයාවද ඊට පෙර කි‍්‍රයාවන්හී ප‍්‍රතිකි‍්‍රයා විය හැකිය. එහෙයින් ඊට ප‍්‍රතිචාර දැක්වීම සඳහා කළ යුත්තේ කලබලකාරී ක්ෂණික වාග් ප‍්‍රහාරයන් එල්ල කිරීම නොව එකී කි‍්‍රයාවන් සහ ප‍්‍රතිකි‍්‍රයාවන්හි පසුබිම විමර්ශනය කරන්නා වූ විදග්ධ සංවාදයක් ආරම්භ කිරීමය. එසේ නොමැතිව තනි තටුවෙන් පියැඹීමට උත්සාහ කිරීම බෙහෙවින් අනතුරු දායකය.

     

    ඉහත දෙවනුව මා සඳහන් කර ඇත්තේ ‘‘ක‍්‍රියාවක් යන්නට නොකර හැරීමක්ද ඇතුළත් වන බවට’’ පවතින නෛතික සිද්ධාන්තයයි. කිසියම් දෙපාර්ශවයක් අතර පවත්නා  ඕනෑම ගිවිසුමක් හෝ  එකඟතාවයක් ක‍්‍රියාවකින් මෙන්ම නොකර හැරීමකින්ද උල්ලංඝනය විය හැකිය. නොකළ යුතු යමක් කිරීමද කළයුතු යමක් නොකර හැරීමද එක සමාන බර තැබීමකින් සැළකිය යුතුය. එක් පාර්ශවයක හුදු ප‍්‍රකාශයකින් කිසියම් ගිවිසුමක් උල්ලංඝනය වන බවට බරපතල ප‍්‍රහාරයක් එල්ල කරන බොහෝ දෙනා ඊට පෙර සිටම අනෙක් පාර්ශවය විසින් නොකර හැරීම් මත නිහඬව සිදු කරන ප‍්‍රබල උල්ලංඝනය කිරීම් පිළිබඳව මුනිවත රකින්නේ නම් එවැනි සංවාදයක් විදග්ධ සංවාදයක් වන්නේ නැත. එම නිසාම එවැන්නක් වාර්තා කිරීමේ දී ස්වභාවික යුක්තියේ මූලධර්ම මත පදනම්ව සැඟවුණු සත්‍යයද සොයා යමින් සාධාරණ හා යුක්ති සහගත මාධ්‍ය භාවිතාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේය.

     

    මා ඉහත සඳහන් කළ තුන්වන කාරණය නම් ‘‘මතු පිටින් පෙනෙන දේ යථාර්ථය නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත.’’ යන ප‍්‍රකට කියමනයි. වර්තමාන කතිකාවටද මෙය හැම අතකින්ම වලංගුය. සූර්යයා පෘථිවිය වටා කැරකෙන බව අපට පෙනෙන්නට තිබුනද විද්‍යාවෙන් ඔප්පු කළ සත්‍යය නම් පෘථිවිය සූර්යයා වටා කැරකෙන බවය. මෙතරම් දියුණු තත්ත්වයක් තුළ පවා අප බොහෝ දෙනා තීන්දු තීරණ වලට එළඹෙනුයේ ඉහත සිද්ධාන්තය අමතක කරමිනි. මතුපිටින් දකින්නට හෝ අසන්නට ලැබෙන දේ මතම පමණක් පදනම්ව කිසිඳු වග විභාගයකින් තොරව තම තර්කය නිර්මාණය කිරීමට පෙළඹීම මෙහි ඇති ඛේදාන්තයයි. එමඟින් බොහෝ විට ලැබෙන නිගමනය සාවද්‍ය වනවා පමණක් නොව එවැන්නක් ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම තුළින් සාමාන්‍ය ජනතාවද එකී සදොස් චින්තනයට ගොදුරු වන්නේය. එබැවින් ඒ පිළිබඳවද ජනමාධ්‍ය සතු වගකීම අතිශය බැරෑරුම්ය.


    අවසාන වශයෙන් මා සඳහන් කරන්නේ පටු අර්ථ නිරූපණයන් හේතුවෙන් හටගන්නා ව්‍යාකූල තත්ත්වයන්ගෙන් ප‍්‍රවේශම් වීමේ වැදගත්කමයි. මා පෙර සඳහන් කළ පරිදී අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙහි සඳහන් හුදු වචන කිහිපයක් පමණක් උපුටාගෙන ජනාධිපතිවරයාගේ දැක්ම ඒ තුළින් සොයා යෑමට උත්සහ කිරීම සැබවින්ම සාහසිකය. දැනට වසර එකහමාරකට අධික කාලයක් පුරා එතුමාගේ දැක්ම කුමක් ද යන්න දේශීය වශයෙන්   පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තහවුරු වී පිළිගැනීමට ලක්ව තිබියදී මෙවැනි පටු අර්ථ නිරූපණ ඔස්සේ අනවශ්‍ය මාධ්‍ය කලම්ඹනයන් සිදු කිරීම මේ රටේ ඉදිරි අනාගතයටද අතිශයින් හානිකරය.


    එබැවින් මෙකී සංවේදී සන්දර්භය තුළ සියලූ මාධ්‍ය සාකච්ඡුා සම්මන්ත‍්‍රණ ආදිය වාර්තා කිරීමේ දී මේ රටේ ජනතාව ඔබ සමඟම අත්වැල් බැඳගන්නා අයුරින් දැඩි සංයමයකින් හා විශ්වසනීයත්වයකින් යුක්තව එකී අභියෝගාත්මක භූමිකාව ඉටු කරන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.


    නීතිඥ නිමල් බෝපගේ
    ලේකම්
    පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya