අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේදී තොරතුරු තාක්ෂණ විෂයට වැඩි පිරිසක්

    අගෝස්තු 24, 2016

    විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී තොරතුරු තාක්ෂණ විෂය ධාරාවෙන් බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    දකුණු කොරියාවේ පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සහ එම විෂය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් සඳහා වු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන වැඩසටහන  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ගුරුවරුන් සහ නිලධාරීන් සඳහා ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගිය දා සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.
     
    කොරියාවේ GMOE (Gwangju Metropolitan Office of Education) සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව, කොරියානු රජය විසින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පුහුණු අවස්ථා සලසා දීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබේ.

    මෙම පුහුණු වැඩසටහන සඳහා ගුරුවරුන් සහ නිලධාරීන් 22 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. අගෝස්තු මස 29 වැනි දින සිට සැප්තැම්බර් 12 දින දක්වා දින 15ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේ දීපව්‍යාප්තව පවත්වන ලද තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියෙහි ප්‍රථමස්ථානය දිනාගත් ගුරුවරිය සහ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ සුවිශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කළ ගුරු මහත්ම මහත්මීන් අතරින් පළාත් මට්ටමින් ගුරුවරුන් දෙදෙනෙකු බැගින් මේ සඳහා තෝරා‍ගෙන තිබේ.

    රටේ අධ්‍යාපන පද්ධතිය ඉදිරි අනාගතයට සරිලන ලෙස සංවර්ධනය කිරීමේ දී තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව පවතින බවත්, ඒ අනුව එම විෂය ක්ෂේත්‍රයට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා ‍තොරතුරු සන්නිවේදන තාක්ෂණ සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉදිරියේ දී රජය විසින් සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවල දී සිසුන් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයෙන් සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයට අදාළ ගුරු පුරප්පාඩු සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සැපයීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් සැලසුම් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා, තොරතුරු තාක්ෂණ අධ්‍යාපන අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya