මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මාන්තයේ දී දේශීය දේ රැකගැනීම කාලීන අවශ්‍යතාවක්

    මාර්තු 25, 2014

    කෘෂිකර්මාන්තයේ දී භාවිත කරන වල්නාශක, කෘමිනාශක වැනි රසායනික ද්‍රව්‍ය එකවර තහනම් කිරීමට වඩා කාබනික ගොවිතැන සඳහා ගොවි ජනතාව නැඹුරු කිරීම වඩා වැදගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද මාතර දිස්ත‍්‍රික්කයේ ජංගම බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

     

    යම් දිස්ත‍්‍රික්කයක් තුළ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිකරුවන් තෝරාගෙන ඔවුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාදී ඒවා දිස්ත‍්‍රික්කය තුළ අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදීම නව වැඩසටහනේ අරමුණයි. ගන්නෝරුව, පැල්වෙහෙර, මහඉලුප්පල්ලම, කුණ්ඩසාලේ වැනි රජයේ බීජ ගොවිපොළවලින් පමණක් ලබාගත හැකිව තිබූ දේශීය බීජ මිලදී ගැනීමේ අවස්ථාව දිවයින පුරා සිටින ගොවි ජනතාවට ලබාදීමේ අරමුණෙන් එහි ප‍්‍රථම පියවර ලෙස මාතර දිස්ත‍්‍රික්කයේ ජංගම බීජ හා රෝපණ අලෙවිසැල ආරම්භ කිරීම සිදු විය.

     

    දේශීය බීජ රැකගැනීමේ කාලීන අවශ්‍යතාව පිළිබඳ මෙහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ආනයනික බීජ හේතුවෙන් දේශීය බීජ විනාශවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් දේශීය බීජ ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන නිසා එම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බවත් සඳහන් කළේය.


    ආනයනික බීජ යොදා ගනිමින් ගොවිතැන් කිරීමට වඩා දේශීය බීජ ප‍්‍රවර්ධනය කරමින් ගොවිතැනට අවශ්‍ය සියලුම බීජ හැකි පමණින් දේශීයව නිෂ්පාදනය කිරීම කෙරෙහි වත්මන් රජය අවධානය යොමු කර ඇත. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ බීජ ගොවිපොළවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දේශීය බීජ නිෂ්පාදනයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබේ. පසුගිය වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව "සැබෑ ලාංකේය රසය” යන තේමාව යටතේ ආරම්භ කළ දේශීය බීජ අලෙවිසැල් පිහිටුවීමේ වැඩපිළිවෙළ දිවයින පුරා ව්‍යාප්ත කරවීම අමාත්‍යාංශයේ ඉලක්කයයි. දේශීය බීජ ප‍්‍රචලිත කරමින් ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම අපගේ යුතුකමක් බැවින් ඒ සඳහා ඇප කැපවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    වර්තමානයේ දී දේශීය බීජ විනාශවීම රටේ කෘෂිකර්මාන්තයට එල්ල වන දැඩි බලපෑමකි. එම බලපෑම අවම කිරීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. "රෙඩ් ලේඩි" පැපොල් බීජ ප‍්‍රභේදය නිසා දේශීය පැපොල් වගාව බිඳ වැටෙන තත්ත්වයක් උද්ගතව ඇත. ඒ නිසා දේශීය රසයෙන් හා ගුණයෙන් අනූන අපේම පැපොල් ගෙඩියක රසය අහිමිවීමේ අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් අපේ රටේ බීජ ආරක්ෂා කරගැනීම වැදගත් වේ. වාණිජ වගාවක් ලෙස ලාභ ලැබිය හැකි වුවත් රෙඩ් ලේඩි නිසා අපේ බීජ වඳ වී යාමට ඉඩදිය යුතු නැහැ. ලාංකේය රසයෙන් යුත් දේශීය පැපොල් සඳහා විදේශීය වශයෙන්ද ඉහළ ඉල්ලුමක් පවතී.

     

    වැටකොළු, රුහුණු වට්ටක්කා වැනි තවත් දේශීය ප‍්‍රභේද මේ වන විට වඳ වී යාමේ තර්ජනයට මුහුණපා තිබේ. එබැවින් දේශීය බීජ රැකගැනීම හා ඒවා ප‍්‍රචලිත කිරීම තුළින් දේශීය බීජ රැකගැනීමේ සත්කාරයට කෘෂිකර්ම අමාත්‍යාංශය ඇප කැප වී සිටියි. ආනයනික බීජ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ චෝදනා ඉදිරිපත් විය. තවද බෝංචි බීජ ආනයනය තහනම් කිරීමට තීරණය කර ඇත්තේ ලංකාව තුළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් බෝංචි බීජ නිෂ්පාදනය කිරීමේ හැකියාව උපරිම වශයෙන් පැවතීම නිසාය. ලංකාව තුළ නිපදවිය හැකි බීජ පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නැති අතර දේශීය කෘෂිකර්මාන්තය රැකගැනීමට නම් ප‍්‍රථමයෙන් ම කළ යුත්තේ අපේ දේ රැකගැනීම බවද ඔහු පැවසීය.

     

    පසුගිය දිනවල තහනම් කළ "ග්ලයිකොපොසේට්" වල්නාශකය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය. මෙම වල්නාශකය බහුලව භාවිත කරන්නේ තේ නිෂ්පාදනය සඳහායි. තේ වගාවේදී වල් නෙලීමට තරම් ප‍්‍රමාණවත් ශ‍්‍රම ශක්තියක් සපයා ගැනීමට ඇති බාධා නිසා වැවිලිකරුවන් මේ වල්නාශකය භාවිත කිරීමට පෙළඹී සිටී. අහිතකර යමක් තහනම් කිරීමෙන් තත්ත්වය පාලනය කිරීමට වඩා නිසි දැනුවත් භාවයක් ලබාදීම තුළින් අහිතකර තත්ත්වය අවම කරමින් ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. කළුතර, මාතර, ගාල්ල, නුවරඑළිය වැනි තේ නිෂ්පාදනය වැඩිපුර සිදුවන දිස්ත‍්‍රික්කවල මේ වල්නාශකය තහනම් කළහොත් එහි බලපෑම නිසා තේ නිෂ්පාදනය අඩපණ විය හැකියි. එය රටේ ආර්ථිකයට ද බලපෑමක් එල්ල කරයි. තහනම් කළ නිෂ්පාදනයක් වෙළඳපොළ තුළ අනවශ්‍ය ආකාරයේ ඉල්ලුමක් නිර්මාණය කිරීමට හේතු විය හැක. රට තුළ කළුකඩ වෙළෙන්දන් ඇතිකිරීමේ පරිසරයක් නිර්මාණය වන්නේ නම් එම තත්ත්වය සුබදායී නොවේ. එබැවින් අප යම් තීරණයක් ගැනීමේ දී එහි ප‍්‍රතිඵල පිළිබඳව නිවැරදි තක්සේරුවකින් කටයුතු කිරීම වැදගත් වේ. මෙම පසුබිම තේරුම් නොගත් ඇතැම් මාධ්‍ය චෝදනා කරන්නේ ග්ලයිකොපොසේට් තහනම් කිරීමට ජනාධිපතිතුමා නියෝග කළත් එම තීරණය ක‍්‍රියාත්මක නොවන්නේ, එහි යම්කිසි වෙනත් අරමුණක් පවතින නිසා බවත්ය. නමුත් ජනමාධ්‍යයේ වගකීම ජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම බව වටහා ගැනීම ඉතා වැදගත් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya