මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය මාර්තු 26 සිට අපේ‍්‍රල් 01 වන දා දක්වා

    මාර්තු 25, 2015

    ජාතික මදුරු මර්දන සතියක් මාර්තු 26 සිට අපේ‍්‍රල් 01 වන දින දක්වා ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා ඇත. මෙහි තේමාව ලෙස ”ජීවිතයට නව නැම්මක් , ඩෙංගුවලට තිතක්” යන්න හඳුන්වා දී තිබේ.

     

    ඩෙංගු රෝගය රටවල් 106 ක පැතිර පවත්නා අතර ඝර්ම කලාපීය රටවල් හැර ඇමෙරිකාව හා  ඕස්ටේ‍්‍රලියාව වැනි ශිත රටවල ද පැතිර යමින් පවතියි. ලෝක ජනගහනයෙන් බිලියන 2.5 ක් ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමට ලක්වන අතර වාර්ෂිකව මිලියන 80 ත් 100 ත් අතර ප‍්‍රමාණයක් රෝගීන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

     

    ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ජනවාරි සිට මේ වනවිට 10,353 ක් වන අතර මරණ 20 ක් සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී. ජී.මහීපාල මහතා අද (23) දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය. තවද, අද වන විට ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ අනුපාතිකය .2% දක්වා අඩුවීමක් දක්නට ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් ඒකක ශක්තිමත් කිරීම, රෝග විනිශ්චය සඳහා රසායනාගාර පහසුකම්, උණ රෝගීන් සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් හා හෙදියන් පුහුණු කිරීම සහ රෝග නිවාරණ කටයුතු සඳහා වසරකට රුපියල් මිලියන 400 ක් පමණ වැය කරන බව මෙහිදී අවධාරණය විය.  

     

    මෙම රෝගය වසංගත රෝග තත්ත්වයක් දක්වා වැඩිවීම වළක්වාලීමට මදුරුවන් බෝවන ස්ථාන තම නිවෙස්වලින් හා පරිශ‍්‍රයන් තුළින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටියි.

     

    මෙවර ජාතික මදුරු මර්දන සතිය තුළ මිලියනයක් පරිශ‍්‍ර පරීක්ෂා කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා කණ්ඩායම් 3091 ක් යොදවනු ඇත. මේ පරීක්ෂාවන් සඳහා පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා දේශීය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයට සහාය දක්වනු ලබති.

     

    මෙම සතිය තුළ එනම්, මාර්තු 26 සිට 28 දක්වා තෝරා ගත් අධි අවදානම් කලාපවල ඇති නිවාස, පාසල් , අනිකුත් අධ්‍යාපන ආයතන, පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා හා ආගමික ස්ථාන පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. මාර්තු 29 වන දින පොදු ස්ථාන, නිවාස, ආගමික ස්ථාන හා කානු පද්ධති පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය. මාර්තු 30 සිට අපේ‍්‍රල් 01 වන දා දක්වා අනෙකුත් අවදානම් කලාපවලට අයත් නිවාස, පාසල් හා අනිකුත් අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉඳිකිරීම් පරිශ‍්‍ර හා කර්මාන්ත ශාලා පරීක්ෂා කෙරේ.

     

    ජාතික මදුරු මර්දන සතිය තුළ පැමිණෙන මෙම කණ්ඩායම්වලට පරිශ‍්‍ර පරීක්ෂා කිරීමට සහාය ලබාදෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ප‍්‍රජාවගේ දායකත්වය මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් අදාළ දිනවල පරිශ‍්‍රයන්හී රැඳි සිටින ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

     

    යම් අයෙකුට දින දෙකකට වැඩි උණක් පවතී නම් ළඟම ඇති රජයේ රෝහලකට පැමිණ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් උණ අඩු කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ජනතාවට දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya