අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි” විශේෂඥ වෛද්‍යවරු පවසති

    මාර්තු 23, 2017

    ශ්‍රී ලංකාව තුළ සුලභව පවතින ‍බෝවෙන රෝග අතරින් මුල් තැනක් ගන්නා ක්ෂය රෝගය වළක්වා ගතහැකි හා ප්‍රතිකාර මගින් සමීපූර්ණයෙන්ම සුවකළ හැකි රෝගයක් යැයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පවසයි.

    ලෝකය පුරා ‍ව්‍යාප්ත වී ඇති ක්ෂය රෝගය වැඩි වශ‍යෙන්ම පවතින්නේ ආසියාවේ රටවලය. 2016 දී ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගීන් 9000 ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එයින් 648 දෙනෙකු මිය ගොස් ඇත.  එසේ වුවද ශ්‍රී ලංකාවේ වාර්තා නොවූ රෝගීන් ද සමග ක්ෂය රෝගීන් දස දහසක් පමණ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.  ඒ අනුව මෙරට ජනගහනයෙන් ලක්ෂයකට ක්ෂය රෝගීන් 40 ක් පමණ සිටින බව සොයා ගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදීය.

    මාර්තු 24 වැනිදාට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබුණි.

    ක්ෂය රෝගය පැතිරෙන්නේ පෙනහලු ආශ්‍රිතව මෙම රෝගය පවතින රෝගීන් මගිනි.  එම රෝගීන්ගේ කැස්ස, කෙල හා කිවිසුම් මගින් පි‍ටවෙන ක්ෂය රෝග බැක්ටීරීයා වෙනත් අයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙන් මෙම රෝගය වැළදෙන බව ද විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේ‍රා මහතා තවදුරටත් කීය.

    ශ්‍රී ලංකාවේ ක්ෂය රෝග මර්දනය සඳහා වන සියලු ව්‍යාපෘතීන් මෙහෙයවනු ලබන්නේ ජාතික ක්ෂය රෝග මර්දන හා හෘද රෝග වැඩසටහන මගිනි.  ක්ෂය රෝගය මර්දනය සඳහා සියලුම දිස්ත්‍රික්කවල ළය රෝග සායන, දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන නිලධාරීන් හා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ පවත්වනු ලැබේ.  සති 2කට වඩා කැස්ස පවතින ඕනෑම කෙනෙකුට වෛද්‍ය වරයකුගේ යොමු කිරීමකින් තොරව සායන සඳහා යොමුවිය හැකි අතර එහිදී සියලු පරීක්ෂණ හා ප්‍රතිකාර නොමිලේ සිදු කරන බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා සඳහන් කළේය. 

    මෙම සායන වලදී ක්ෂය රෝගය තිබෙන බවට තහවුරු වූ රෝගීන්ගේ තොරතුරු ලේඛන ගත කෙරෙන බවත් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ සමීප පුද්ගලයින් සඳහා ද පරීක්ෂණ සිදු කරන බවත් ඒ මහතා කීය.

    නොකඩවා මාස 6 - 8 අතර කාලයක් ප්‍රතිකාර ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව වන බව මෙම මාධ්‍ය හමුවට එක් වූ අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පෙන්‍වා දුන්නේය.

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya