Print this page

මගනැගුම නව පර්යේෂණාගාරය සහ නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය විවෘත කෙරේ

මාර්තු 20, 2017

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ කොත්මලේ යන්ත‍්‍රාගාර පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද පර්යේෂණාගාරය සහ නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය පසුගියදා විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ගම්පොළ , අටබාගේ , නවදෙවිට හිදී මෙම විවෘත කිරීම සිදු කෙරිණ.

අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණාගාරය තුළින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය වල තත්ත්ව පරීක්ෂණ කිරීමේ පහසුකම් ඇත. මෙම අමුද්‍රව්‍ය රසායනාගාරය තුළින් මහාමාර්ග , පාලම් ඇතුළු සියලු ඉදිකිරීම් කටයුතුවලට භාවිතා කරන  අමුද්‍රව්‍ය පරීක්ෂා කර ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව ඇත.

මීට සමගාමීව නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය මඟින් මාර්ග නඩත්තු කටයුතු සිදු කිරීමට උපයෝගී කරගනු ලබන සිසිල් පෙරමුසු ගල්තාර මිශ‍්‍රණය ( cold mix) හෙවත් පෙරමුසු තාර මාසයකට ටොන් 1500 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මේ තුලින් මධ්‍යම පළාතේ සියළුම මාර්ග ඉදිකිරීම් වැඩ ඒකක වෙත සිසිල් පෙරමුසු නිෂ්පාදන ප‍්‍රමාදයකින් තොරව ලබා දීමේ පහසුකම් ඉදිරියේ දී සැලසෙනු ඇත.

මේ අවස්ථාවට මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ සභාපති ජානක හේරත් මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.