Print this page

උතුරු හා නැගෙනහිර දෙපළාතේ කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක්

මාර්තු 17, 2017

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR ) මගින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක 08 හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගයෙන් පවත්වන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක් (EBVDP) හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇත.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා ලෙස  ජනාධිපතිතුමන් විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සතියේ අනුමත කළ අතර මෙම කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය (EBVDP) මාර්තු මාසය අවසානය වනවිට දියත් කිරීමට යෝජිතය.

යුධ ගැටුම් නිසා බෙහෙවින් පීඩා විඳ ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල දියත් කරන මෙම ව්‍යාපෘතිය තුළින් ව්‍යවසායකත්වය මත පදනම් වූ ග්‍රාමීය ආර්ථික ක්‍රමවේදයක් හරහා මෙම ප්‍රදේශවල තවමත් පූර්ණ වශයෙන් ලබා ගෙන නැති සමාජ-ආර්ථික දියුණුවකට මග සැලසීම අරමුණ වේ.

ඒ අනුව  මෙම කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය (EBVDP) තුළින් විශේෂයෙන්ම ගෘහ මුලික කාන්තාවන්, වැන්දඹුවන් සහ විරැකියාවෙන් පීඩිත තරුණ ප්‍රජාවට, ව්‍යවසායකත්වය මත පදනම්ව තම ජීවන තත්ත්වය වැඩිදියුණු කරගැනීමට අවකාශ සැලසෙනු ඇත.

උතුරු හා නැගෙනහිර පළාත්වල ගම්මාන 113ක් පුරාවට දියත් කරන රුපියල් මිලියන 446ක වටිනාකමින් යුතු මෙම EBVDP  ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය තුළින් තෝරාගනු ලබන ව්‍යවසායකයින් 1785 දෙනෙකුට තම ආදායම් මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ණය සහ ආධාර යන දෙආකාරයෙන්ම ලබා දෙනු ඇත.

රාජ්‍ය හා පුද්ගලික බැංකුවක් හරහා ලබා දෙන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් රුපියල් 250,000 ක් වන තෙක් ලබා ගත හැකි වනු ඇත. සෑම ව්‍යාපාර සැලසුමක් සඳහාම, සම්පුර්ණ ණය මුදලින් සියයට 25ක ප්‍රතිශතයක් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය (ONUR ) විසින් ආධාරයක් ලෙසින් දරන අතර අදාළ ණය සඳහා වූ සම්පුර්ණ පොලියද සමගිය හා සංහිදියා කාර්යාංශය විසින් ගෙවනු ලැබේ.