Print this page

ඕනෑම ආකාරයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී බැලපෑම් ගැන අවදියෙන් සිටිනවා - ඇමැති සාගල රත්නායක

මාර්තු 17, 2017

ශ්‍රී ලංකාවේ හෝ කලාපය මත බලපෑමක් ඇතිකළ හැකි ඕනෑම ආකාරයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් පිළිබඳව අවදියෙන් සිටින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගිය 14 වැනිදා ආරම්භ වූ තුන්වන ත්‍රස්තවාදය වැළක්වීමේ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ඉන්දියානු පදනම විසින් සංවිධානය කරා තිබූ මෙම සමුළුවට ඉන්දීය උප ජනාධිපති හමීඩ් අන්සාරි, නේපාල උප අගමැති බිම්ලේන්ද්‍ර නිධි, සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ශන්මුගම් ඇතුලු කලාපීය නායකයින් රැසක්ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ වසර තිහක යුද්ධය අවසන්වී වසර අටකට පසු ප්‍රජාත්රන්ත්‍රකරණය සහ ආර්ථික සංවර්ධනය යන කරුණු දෙක මත ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත් වෙමින් පවතින බවයි. 2015 ජනවාරි මාසයේ බලයට පත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානම ප්‍රතිපත්තීන් වූයේ සාමය ගොඩනැංවීම, සංවර්ධනය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම ආදිය සිදුකරන බවයි. 2009 මැයි මාසයේ යුද්ධයෙන් පසු ඉක්මනින්ම ඉටුකලයුතුව තිබූ මෙම කාරනා ඉටු නොවීම නිසා වත්මන් රජයට එය ඉක්මනින් සිදුකිරීමට සිදුවී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සම්මතකර ඇති යෝජනාවේ ප්‍රගතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ප්‍රමාණවත් කාලයක් ලබාදීමට මානව හිමිකම් මණ්ඩල සැසියේදී තවත් යෝජනාවක් ඇතිවී තිබෙන බව මෙම සභාවට දැනුම්දෙන බව අමාත්‍ය සාගල රත්නායක එහිදී කියා සිටියා. එය ශ්‍රී ලංකාව පිළිබද සහ එහි කටයුතු ගැන ජාත්‍යන්තර ප්‍රජාව තුල ඇති විශ්වාසය සාක්ෂි දැරීමක් ලෙසයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.


එමෙන්ම ලක් රජය සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් බවට පත්කරමින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භකර ඇති බවත් බලය විමධ්‍යගත කිරීම, සුළු ජාතික අයිතීන් තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්ට අනුකුලව කෙටුම්පත් කිරීම සිදුවෙමින් පවතින බවද පෙන්වාදුන් අමාත්‍යවරයා මෙම සියලු කාර්යන් සිදු කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඕනෑම පුද්ගලයෙකුට බිය ඇතිවිමකින් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා බවයි අවධානය කර සිටියේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානයට ලක්කර ඇති අතර විශේෂයෙන්ම ගැටුම් මානසිකත්වය යටතේ සේවය කල පොලිස් නිලධාරීන් සඳහා නීතිය හා සාමය පවත්වාගෙන යෑමට අවශ්‍ය සිවිල් රාජකාරි වෙනුවෙන් වේගවත් පුහුණු වැඩසටහනක් ආරම්භකර තිබෙන බවද අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී සඳහන් කළා.

එපමණක් නොව දොළොස්දහසක් පමණ වන හිටපු LTTE සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමට ලක් රජය සමත්වූ අතර ඉන් බොහෝ පිරිසක් ඊළඟට පැවැත්වෙන මැතිවරණ සඳහා තරග කිරීමට දේශපාලන පක්ෂ පිහිටුවාගනිමින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වෙමින් සිටින බව ද පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවේ සමාරම්භක සැසිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඇමතූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද මෙම සමුළුවට එක්වී සිටියහ.