අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඳගිරියෙන් දින හතරක් ඇතුළත තුන්වෙනිවරටත් ඉපැරැණි කාසි දහසකට අධික ප‍්‍රමාණයක් මතුවේ

    ඔක්තෝබර් 24, 2014

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතුවලදී පසුගිය සැප්තැම්බර් 30වන දින බඳගිරියෙන් මාගා සමාගමට ඉපැරැණි තඹ කාසි 241ක් හමුවී ඇති අතර ඉන් පසුදින එම ස්ථානය නැවත පරීක්ෂා කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ස්ථානයේ ම විසිරී තිබූ තවත් තඹ කාසි 40ක් හමුවී ඇත.


    ඉන් අනතුරු ව පසුගිය 03වනදා කාසි හමු වූ ස්ථානයට ආසන්න මුළු ප‍්‍රදේශයම තවදුරටත් පරීක්ෂා කළ කලාපභාර නිලධාරි පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතා හා සංවර්ධන නිලධාරි අජිත් ඉන්දික ගමගේ මහතාට තවත් ඉපැරණි තඹ කාසි 1500කට අධික ප‍්‍රමාණයක් හමුවී ඇත. මේ වනවිට දින කිහිපයක් තුළ බඳගිරියෙන් හමුවී ඇති සමස්ත කාසි ප‍්‍රමාණය 2000කට ආසන්න වේ.


     
    බඳගිරිය මාර්ග සංවර්ධන කටයුතුවල නිරිත වී සිටින මාගා සමාගමට අයත් බැකෝ යන්ත‍්‍රයක ගැටී ඉපැරැණි කාසි සහිත මුට්ටියක් බිඳී ඇති අතර එහිදී හමු වූ තඹ කාසි 241ක් එදින ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදී තිබුණි. ඉන් අනතුරුව ඊට පසුදින ම එම කාසි මුට්ටිය තිබුණේ යැයි සැලකුණු ස්ථානය පරීක්ෂා කළ පුරාවිද්‍යා නිලධාරීන්ට  තවත් තඹ කාසි 40ක් හමුවී ඇත. ඒ අනුව පසුගිය 02වන දින බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේ පිළිබඳව පුළුල් ප‍්‍රචාරයක් ද ලබාදී තිබුණි. මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී බැකෝ යන්ත‍්‍ර මගින් ඉවත් කරන ලද පස් ඒ අසල නිවෙස් ඉදිරිපිට ගොඩගසා ඇති අතර එම පස් ගොඩවල් එකික් එක සූක්ෂම ව පරීක්ෂා කිරීමේදී එක් නිවසක් ඉදිරිපිට තිබූ පස් ගොඩක තිබී තුන්වන වරටත් කාසි හමුවී ඇත. 


    මෙදින හමුවී ඇති කාසිවලින් 503ක් වෙන වෙන ම ගණනය කළ හැකි අතර ඉතිරි සියල්ල මුට්ටියේ තිබුණු ආකාරයෙන් ම පොදියක් ලෙස පවතී. මෙසේ හමුවී ඇති තඹ කාසි අනුරාධපුර යුගයේ මෙරටට ගෙනෙන ලද රෝම කාසි හෝ වෙත් විදේශීය කාසි වර්ගයක් විය හැකි අතර පුද්ගල මුහුණු, සූර්ය සංකේත හා හඳුනාගත නොහැකි සංකේත රාශියක් මෙම කාසිවල දක්නට ලැබේ. මෙරට කාසි නිර්මාණ තාක්ෂණය පරීක්ෂා කිරීමේදී මුල් කාලීනව මානව රූප සහිත කාසි (ශ‍්‍රී ලක්ෂ්මී කාසි) භාවිතයේ පැවතියද පුද්ගල මුහුණු පමණක් යෙදූ කාසි භාවිතයේ පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැත. එම නිසා මෙම කාසි ස්ථිර වශයෙන් ම විදේශීය රටකට අයත්විය හැකි කාසි ලෙස හඳුනාගත හැකි වේ. 


    මෙම ස්ථානයෙන් හමු වී ඇති මැටි බඳුන්වල නිර්මාණ ලක්ෂණ අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බවට අනුමාන කළ හැකිවේ. එසේ ම මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත්ගල් කිහිපයක්ද මෙම ස්ථානයෙන් හමුවී තිබීම විශේෂත්වයකි. පසුගිය ජූලි මාසයේදී ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කරන ලද කැණීමකදී මීට බෙහෙවින් සමාන කාසි හමුවී ඇති අතර එම ස්ථානයට පැමිණි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ඒවා රෝම කාසි විය හැකි බවයි. ඒ අනුව මෙරට දකුණු ප‍්‍රදේශයෙන් දිගින් දිගට ම රෝම කාසි හමුවීම තුළින් රෝමය හා පැරැණි රෝහණය අතර පැවැති විදේශීය වෙළඳ සබඳතා පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.


     ECB

    coince2

    coince3

    coince4


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya