මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලශක්ති ත්‍රස්තවාදය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට වඩා දරුණුයි

    සැප්තැම්බර් 02, 2014
    අපේ එදිනෙදා ජීවන කටයුතු හා රටේ ආර්ථීකය සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිගමන අතිශයින් වැදගත් වන නමුත් අප සියල්ලෝම අතලොස්සක් පිරිසකගේ සමාජ දේශපාලනික සිරකරුවන් බවට පත්ව තිබේ. අවබෝධය මඟින් ඉන් මිදීමට අපට හැකියාව තිබෙන අතර ඉතාම ඍජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, බලශක්ති මාෆියාවට යටනොවී ක්‍රියාකරන ක්‍රියාවලියක් තිබේ නම් එක් අවුරුද්දකින් මුළු බලශක්ති ක්ෂේත්‍රයේම මාෆියාව යටපත් කිරීමට හැකියාව තිබෙන බව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. 


    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා මහනුවර කැන්ඩියන් ආර්ට් අවහන්ලේ පැවති "බලය සහ බලය" කෘතිය සෙංකඩගල පුරවරයේ එළිදැක්වීමේ උත්සවය අමතමිනි. 

    සාමාන්‍යයෙන් බලශක්ති ක්ෂේත්‍රය ලෝකයේ ආර්ථිකයෙන් 15%ක් පමණ වන අතර මෙම 15% ආර්ථිකය නැමති ශරීරයේ රුධිර නාල පද්ධතිය මෙනි. 2012 වර්ෂයේ ඇති වූ නියඟයෙන් විදුලිය සැපයීම සම්බන්ධයෙන් අපට විශාල අර්බුදයක් මතු වූ අතර ඒ අවස්ථාවේ විදුලි සංරක්ෂණ වැඩසටහනක් අප දියත් කළෙමු. ඒ සඳහා අපේ පාසල් දරුවන් සම්බන්ධ කරගැනීමට 'හෙට මුළු රට එළියයි' නමින් කුඩා කෘතියක් ද රචනා කළෙමු. 1995 සිට විදුලි අර්බුදයක් ඇති වූ විට ප්‍රතිපත්තියක් ලෙස සිදු කළේ පෞද්ගලික අංශයෙන් ඉහළ මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීමයි. ඒ වෙනුවට විදුලිය සංරක්ෂණය කර මේ අර්බුදය විසඳීමට දැරූ උත්සාහය මල්ඵල ගැන්විණ. මේ තුළින් 4%ක පමණ විදුලිය ඉතුරු කරගැනීමට හැකි වූ අතර ඒ සඳහා රෝහල්, පාසල්, ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන සමඟ සාකච්ඡා සිදු කරමින් ජන විදුලි බලාගාරවලින් ජලවිදුලි බලාගාර අර්බුදය ජයගැනීමට අපට හැකිවිය.

    මෙරට බලශක්ති අර්බුදය සම්බන්ධව අද වන විට විවිධ මත පැතිරී තිබෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ හා තෙල් සංස්ථාවේ සිටින්නේ හොරුන් බව ප්‍රකට මතයකි. මෙය කිසිදු හොරකමක් නොකර එම ආයතනවල සේවය කරන සාතිශය බහුතරයක් පිරිසට හානියකි. මෙම ආයතන දෙක කෝප් වාර්තාවට අනුව දිගට ම පාඩු ලබන ආයතන ලෙස නම් කර තිබෙන අතර මේවා පාඩු ලබන්නේ පාලනය කරනු ලබන මැති ඇමතිවරුන් නිසාය යනුවෙන් මතයක් ඇති වී තිබේ.  එයට වඩා වෙනස් තත්ත්වයක් මේ තුළ තිබේ. මෙම බලශක්ති මාෆියාවේ ග්‍රහණයට මැති ඇමතිවරුන්, ආණ්ඩුව, විපක්ෂය යනාදී සියල්ල එකට ගැටගැසුණු ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. 


    කිහිප දෙනෙකුගේ කල්ලියක් අද වන විට බැංකු පද්ධතිය හා බලශක්ති ක්ෂේත්‍රය අභියෝගයට ලක් කර තිබේ. අප තවත් මෙය බලා සිටිය යුතු නැහැ. අප මැදිහත් විය යුතු කාලය පැමිණ තිබේ. සෑම අයෙක්ම තමන්ගේ විදුලි බිල, බලශක්ති බිල සැකසෙන ආකාරය පිළිබඳව දැනගත යුතුයි. රටේ ණය බර ශීඝ්‍රයෙන් අඩු වී ඇති බව පවසමින් අද සමහරු පුසාරම් දොඩති. නමුත් තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ, බැංකුවල ණය මෙම ණය වාර්තාවල සඳහන් වන්නේ නැත. මෙම තැන්වල ණය බිලියන සිය දහස් ගණනින් සිර වී තිබේ. මේ ඉලක්කම් සෙල්ලම්වලින් රටේ ආර්ථිකය මැනිය නොහැක. ඒ සඳහා විද්වත් පිරිසගේ ඉදිරිපත්වීම අත්‍යවශ්‍යව තිබේ. 

    රටේ බලශක්ති අනාගතය රැඳී ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරය මතයි. රටේ අද බලශක්ති අවශ්‍යතාව ගිගාවොට් පැය 30ක් නම් ඉන් 21ක් ම මෙම නොරොච්චෝල බලාගාරයෙන් සැපයිය හැකිය. ආසන්නයෙන් 60%ක විදුලියක් සැපයිය හැකිය. මෙම බලාගාරය අන්සතු වන්නේ නම් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට විශාල බලපෑමකි. නොරොච්චෝලේ වැසෙන සෑම දිනයකම ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 600ක පාඩුවක් සිදු වන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

    ඊළඟ මැතිවරණය කවරක් වුවත්, මෙම තෙල් මාෆියාව පිටුපස සිටින්නේ කවුරුන්දැයි හඳුනාගැනීම හා ඒ අයට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම මේ රටේ සෑම පුරවැසියෙක්ගේම වගකීමකි. ඒ වගකීම අපි ඉටු කරන්නට කටයුතු කරන්නෙමු. මෙය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට වඩා බොහොම භයානක ත්‍රස්තවාදයකි. සෑම අහිංසක ගෘහයකම විදුලි බිල තුළිනුත් සෑම අහිංසක මිනිසෙකුගේම පෙට්රල්, ඩීසල් හා භූමිතෙල් බිල තුළිනුත් රුපියලෙන් සතෙන් හොරකම් කරන ජාවාරම්කාරයන්ට තවදුරටත් තීරණ ගන්න ඉඩ දෙනවාද යන්න මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. මෙම මාෆියාවන් කවුද? කොහොමද? මෙය ක්‍රියාත්මක කරන්නේ යන්න මේ රටේ සියලු දෙනා දැනගත යුතුයි. 


    ජනප්‍රිය සටන් පාඨ නො ව මෙම ප්‍රශ්නවල ගැඹුරු යථාර්ථය අප හඳුනාගත යුතුයි. ඒ සඳහා අප, අපේ සමාජය නිර්භය විය යුතුය. වෘත්තීයවේදීත්වය තීරණ ගැනීමේ ක්‍රියාවලියට අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු අතර මේ සඳහා දායක වීමට ඔබ සැමට වගකීමක් තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya