Print this page

පැරණි හස්ත කර්මාන්ත නොනැසි ඉදිරියට යෑමට පාසල් දරුවන් ගන්නා පියවර අගය කළ යුතුයි

මාර්තු 08, 2017

පැරණි හස්ත කර්මාන්ත නොනැසි ඉදිරියට ගෙන යන්න පාසල් දරුවන් ගන්නා පියවර අගය කළ යුතු යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,පසුගිය දා බත්තරමුල්ලල අපේගම පරිශ්‍රයේ පැවැති''ශිල්ප නවෝදා'' ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.


ශිල්ප නවෝදා වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් සිසුන් දස දහසකට හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීමට නියමිතයි.

අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීය. ශ්‍රී ලංකාවට ලෝකයේ කිසිදු රටකට නොදැවෙනි අභිමානවත් අතීතයක් තියෙනවා. ඒ අතීතයෙන් අපිට උරුම වූ කලාත්මක දේවල් බොහෝයි. ඒ විස්මිත කලා හැකියාව ගැන මුළු ලෝකයම පුදුමයට පත්වනවා. අපේ මේ පාරම්පරික හස්ත කර්මාන්ත ලෝකයට ම වටිනා දෙයක් වුවත් අද අපි මුහුණ දී තිබෙන ප්‍රශ්නයක් තමයි මේවා අනාගතය උදෙසා ආරක්ෂා කරන්නේ කොහොම ද කියා.

මේ තරඟකාරී ලෝකයේ මේවායේ පැවැත්ම තහවුරු කරන්න අපි රජයක් ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත් උපදෙස් හා මගපෙන්වීම යටතේ මගේ අමාත්‍යාංශයෙන් ඒ සඳහා විශේෂ වැඩසටහන් සකස් කරමින් තිබෙනවා. හස්ත කර්මාන්ත සඳහා අවශ්‍ය නව නිර්මාණ ඇති කරන්න. අලුත් තාක්ෂණය මේ පාරම්පරික කර්මාන්තවලට එකතු කරන්න. ඒ වගේ ම ලෝකයේ අලුත් වෙළෙඳ පොළ සොයා මේ නිර්මාණ අලෙවි කරන්න අපි විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ පියවර තබන්නේත් එවන් කටයුත්තකට. ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය හේෂානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු එහි නිලධාරී මහත්ම මහත්මීන්ගේ කැපවීමෙන් අද මේ ආකාරයෙන් ආරම්භ වී තිබෙන්නේ ඒ වගේ එක් වැඩසටහනක් පමණයිග අනාගතය වෙනුවෙන් මේ කලාවන් ආරක්ෂා කරන්න හොඳ ම පිරිස ලෙස පාසල් දරුවනුයි. අනාගය භාර වෙන්නේ ඔවුන්ට. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මැතිතුමා එයට හොඳ සහයෝගයක් ලබා දුන්නා. අපි පසුගිය වර්ෂයේ දී ශිල්ප නවෝදා වැඩසටහන ආරම්භ කළේ දිවයිනම ආවරණය වන පරිදිල පාසල් දරුවන් 40,000ට පමණ මූලික දැනුම ලබා දී තිබෙනවා.

දැනට ජාතික ශිල්ප සභාව මගින් වෙස්මුහුණු කර්මාන්තය, බීරළු කර්මාන්තය, පිත්තල වැඩ,පන් කර්මාන්තය, වැනි පැරණි කර්මාන්ත 20ට වැඩි ප්‍රමාණයක් සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. අපි මේ දරුවන්ට ඒ ඒ කර්මාන්ත ගැන මූලික අවබෝධයක් ලබා දුන්නාග දැන් අපි ඉන්නේ එහි දෙවැනි අදියරේ.

ඒ අනුව පාරම්පරික කර්මාන්ත පුහුණුව සඳහා කැමැත්ත පළකරපු දරුවන් 10,000ක පමණ පිරිසක් තෝරාගෙන ඔවුන්ට කර්මාන්ත පුහුණුව ලබාදීම අපි අද මේ විදියට ආරම්භ කරනවා. මේක රටට ඉතා වැදගත් අවස්ථාවක්. අපේ රටේ අවුරුදු දහස් ගණනක් පවත්වාගෙන ආපු පැරණි කර්මාන්ත අනාගතයේ නොනැසී ඉදිරියට ගෙන යන්න මේ දරුවන් ගන්නා පියවර ඉතා වැදගත් වනවා.

මා මේ දරුවන්ගෙන් එහෙමත් නැත්නම් අනාගත තරුණ පරපුර බවට පත්වන මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අපේ වැඩිහිටි පරපුරට වඩා නවීන තාක්ෂණය භාවිතා කරනවාග එයට හුරු වී සිටිනවා. ඒ නිසා ඔබට විශාල වගකීමක් තිබෙනවා මේ කර්මාන්ත අනාගතය වෙනුවෙන් තාක්ෂණය සමග මුසු කළ යුතුයි. නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා මේ කලාවන් වැඩි දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන ඒමට මේ කර්මාන්ත හා මේ නිර්මාණ භාවිතා කරන්න පුළුවන්.

දරුවන් මේ ආකාරයෙන් පුහුණුව ආරම්භ කරනවා වාගේම ජාතික කණිෂ්ඨ කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය මේ වර්ෂයේ පවත්වන්නත් සැලසුම් කර තිබෙනවා. එය මේ දරුවන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම අපි මින් පෙර සැලසුම් කළ ආකාරයට හස්ත කර්මාන්ත පුහුණුව පාසල් විෂය නිර්දේශයට එකතු කරන්නත් හැකියාව ලැබේවි යැයි මා විශ්වාස කරනවා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.