Print this page

ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් වටා පිහිටි වැලි මළුව සංරක්ෂණය කර වැලි අතුරයි

පෙබරවාරි 14, 2017

ලොවපුරා සුවහසක් බෞද්ධ බැතිමතුන්ගේ සහ පුරා විද්‍යාඥයින්ගේ නොමද අවධානයට ලක් වූ ඓතිහාසික රුවන්වැලි චෛත්‍යයේ වැලි මලුව ප්‍රතිසංස්කරණය කර වැලි ඇතිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙහිදී අදහස් පළකළ රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමිපාණන් සඳහන් කළේ 1948 වසරින් පසු මෙවැනි පින්කමක් රුවන්වැලිසෑ රඳුන් අභියස සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මේ සඳහා නායකත්වය ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කළ උන්වහන්සේ මෙම මාහැඟි කටයුත්ත පෙර රජ දවසද  සිහිපත් වන ඓතිහාසික අවස්ථාවක් බව සඳහන් කළා.

මෙහිදී අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම සද්කාර්යය ඉටු කිරීමට ශ්‍රමදායකත්වය දැක්වූ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කළේය. එමෙන්ම මෙම කටයුතුවලට දායකත්වය දැක්වූ බැතිමතුන් අගයමින් ඔවුන් වෙත සමරු සහතික පිරිනැමීමක් ද මෙහිදී සිදුකෙරිණි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා නිබඳව ලබා ගනිමින් ඓතිහාසික පූජනීය ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධන සඳහා සැමවිටම තමා නායකත්වය ලබාදෙන බවද සිහිපත් කළේය.

අමාත්‍යවරයා විසින් එළඹුණු සුභ මොහොතින් වැලි ඇතිරීම  ආරම්භ කළ අතර දිවයිනේ නන්දෙසින් පැමිණි 6,000කට ආසන්න උවැසි උවැසියන් විසින් පෙරහරින් පාත්‍ර වල රැඟෙන ආ වැලි මළුවේ ඇතිරීම සිදු කළහ.

අක්‍රියව පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතියේ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස 2015 වසරේ අගෝස්තු මස ආරම්භ කළ අතර ඒ යටතේ රුවන්වැලි සෑ මළුවේ වැලි ඇතිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්  සහ රුවන්වැලි චෛත්‍යරමාධිකාරි පූජ්‍ය පණ්ඩිත පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වූ මෙම වැඩසටහන සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වැය කර ඇති මුදල රු.මි. 23.2 ක්.  

වැලි කියුබ් 483 ක් පමණ මළුවේ ඇතිරීම සඳහා යොදා ගැනෙනවා. ඒ සඳහා ව්‍යාපාරිකයින්ද වැලි පරිත්‍යාග කර තිබෙන අතර මෙම සංරක්ෂණ කටයුතු සඳහා 16,741 දෙනෙකු ශ්‍රම දායකත්වය ලබා දී තිබෙනවා.

මේ අතර මහවිහාර ව්‍යපෘතියේ කටයුතු සඳහා  2017 වර්ෂය වෙනුවෙන් රජය වෙන් වෙන්කර ඇති මුදල රු. මිලියන 97.7 ක් වේ.

මෙම උත්සව අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු ජනතා නියොජිතයින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.