අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම හෙට

    ඔක්තෝබර් 12, 2016
    වරප්‍රසාද ලත් ඉහළ පන්තියට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අවස්ථා දැයේ සමස්ත දරුවන් වෙත ලබාදීමට පුරෝගාමී වූ ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම හෙට (13)ට යෙදී ඇත.
     
    කන්නන්ගර චින්තනය අනුව කටයුතු කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් ජාතික මට්ටමින් වැඩසටහන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 
     
    ඒ අනුව කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම් ජාතික උත්සවය නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වේ. එයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කන්නන්ගර මැතිඳුන්ගේ පිළිරුව අභියස ගුණ සමරු වැඩසටහනක් අධ්‍යාපන රාජ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එදිනම සවස 2.00 ට ජාතික අධ්‍යාපන ආයතනයේ සමරු වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතය.
     
    කන්නන්ගර මැතිඳුන්ගේ 132 වන ජන්ම දින සැමරුම යෙදෙන ඔක්තෝබර් 13දා නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම තුළින් කන්නන්ගර මැතිඳුන්ගෙන් සිදු වූ සේවය අගයා දිවයිනේ සියලු ම පාසල්වල සමරු වැඩසටහන් පැවැත්වීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
     
    යටත් විජිත සමයේ ප්‍රභූ පැළැන්තියේ දරුවන්ට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අවස්ථා පහළ පංතියේ දරුවන්ට ද හිමි කර දෙමින් පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ අධ්‍යාපන අවස්ථාවන් ලබාදීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යාධාර ක්‍රමයක් ආරම්භ කිරීමටත්, ග්‍රාමීය මට්ටමින් අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමටත් කන්නන්ගර චින්තනය දායක විය.
     
    වර්තමාන රජය මගින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය කිරීමත්, සිසු දරුවන්ගේ වෘත්තීය කුසලතා හා තාක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට අවධානය යොමු කරමින්, තාක්ෂණ විෂයධාරා හා නව විෂයමාලාවන් හඳුන්වා දීමත්, පාසල් 7,000 ක් සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ කිරීමේ “ළගම පාසල හොඳම පාසල” වැඩසටහනත් කන්නන්ගර චින්තනය ශක්තිමත් කිරීම වෙනුවෙන් තබා ඇති පියවර කිහිපයකි.
     
    සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ඇති කළ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිදුන් ජාතියට කරන ලද සේවය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එතුමන්ගේ ගුණ ඉතා කෘතවේදීව සිහිපත් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya