ජාත්‍යන්තර විදුලි සන්දේශ සංගමයේ නියාමකයන් සඳහා වන ගෝලීය සම්භාෂණයෙහි සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව තෝරා ගැනේ
- Details
- Created on Friday, 20 April 2012 12:55
- Hits: 821
ලබන ඔක්තෝබර් 03 සිට 05 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ නියාමකයන් සඳහා වන ගෝලීය සම්භාෂණයෙහි (Global Symposium for Regulators – GSR) සහ ගෝලීය කර්මාන්ත ප්‍රමුඛයන් ගේ සංසදයෙහි (Global Industry Leaders Forum – GILF) සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ශ්‍රී ලංකාව සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවකට අනුව රුපියල් මිලියන 70ක් වෙන් කිරීමට ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ සමුළුව සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සාමාජික රටවල් 192ක් නියෝජනය කරමින් විදුලි සංදේශ අමාත්‍යවරුන් ඇතුළු ව 500 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බව අනූෂ පැල්පිට මහතා පැවසීය.
එමෙන් ම එහි දී 2011 දෙසැම්බර් මස අත්සන් කර ඇති සත්කාරක දේශ ගිවිසුමේ අන්තර්ගත නිගමනයන් හා කොන්දේසි සාකච්ඡා කර ගිවිසුමකට එළැඹීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බලය පැවරීමට ද කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ICT) විදුලි සංදේශ හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ වගකීම පැවරී ඇති එක්සත් ජාතීන් ගේ විශේෂිත නියෝජිත ආයතනය වේ.
ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති තනතුර සඳහා 2010 සැප්තැම්බර් මස කොළඹදී පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ 50 වන සංවත්සරයේදී ජනාධිපති ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා තෝරාපත් කර ගත් අතර එහි 2010 වසරේ කොළඹ පැවති 50වන කවුන්සිල රැස්වීමෙහි ද ලලිත් වීරතුංග මහතා මුලසුන දැරූ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.
එමෙන්ම 2011 වසරේ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය 51 වන සමුළුවේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සභාපති තනතුරට තේරී පත්විය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශනයට අදාළ ජාතික නියාමන ආයතනය වේ. ශ්‍රී ලංකාවට විශ්වාසදායක හා කාර්යක්ෂම ජාතික හා අන්තර් ජාතික විදුලි සංදේශ සේවාවක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වන බව අනූෂ පැල්පිට මහතා පවසයි. නියාමන ක්‍රියාදාමය හැඩගැස්වීම පොදු යහපත සුරැකීම හා දිනෙන් දින තරගකාරී වන වෙළඳපොළ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම මඟින් විදුලි සංදේශ කර්මාන්තයේ ස්ථීරසාර සංවර්ධනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිරන්තරයෙන් ම ක්‍රියා කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට අති දැවැන්ත දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව ලබන ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ නියාමකයන් සඳහා වන ගෝලීය සම්භාෂණයෙහි (Global Symposium for Regulators – GSR) සහ ගෝලීය කර්මාන්ත ප්‍රමුඛයන් ගේ සංසදයෙහි (Global Industry Leaders Forum – GILF) සත්කාරක රට ලෙස ක්‍රියා කිරීමට ලැබීම අප රට ලද මහත් භාග්‍යක් වන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් පැවසීය.
ECB