Thu05172012

Last update5:14:35 UTC 2012

නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ සිහිනයක්

basil-open1
අද දින මේ මුල් ගල තබන ලද නෙළුම් කුලුන ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ මෙන්ම රටේ ජනතාවගේ ද සිහිනයක් වූ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) වන දින පෙරවරුවේ නෙළුම් කුලුන ඉදිකිරීම් සනිටුහන් කරමින් මුල් ගල තැබීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිතුමා මෙම කුලුන කොළඹින් පිට එනම් ගම්පහට මුලින්ම යෝජනා කළත්, පසුව මෙම ස්ථානයේ ඉදිකිරීමට තීරණය කළ බවයි.

‘මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමත්, මේ රට අනෙක් රටවල් සමඟ ඉහළට ඔසවා තැබීමත් අරමුණු කර ගනිමින් ජනාධිපතිතුමා මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මත් ඉදිරිපත් කළා. මේ සැලැස්ම තුළ ප්‍රමුඛතාව දියයුතු අංග එතුමා තෝරාගත්තා. රට හදන හැටි පමණක් නොව මුලින් කළ යුතු කුමක්ද කියලත් එතුමා තීරණය කළා. එතුමා දැනගෙන හිටියා මේ රටේ භූමියෙන් 1/3ක් අපිට අහිමි වෙලා තියෙන්නෙ කියලා ඒ වෙනකොට.’ හැම තැනම බෝම්බ පිපිරෙද්දි, හැමතැනම මිනිස්සුන්ට කරදර වෙද්දි රටේ සංවර්ධනය සිදුකළ නොහැකි බව එතුමා තේරුම් ගෙන හිටි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ‘ඒ අනුව එතුමා මුලින්ම තෝරාගත්තේ මේ රටේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න. මේ රටේ රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සහ ජනතාවගේ සහයෝගයෙන් ඒ තත්ත්වය එතුමා ලබාදුන්නා.’ ඒත් සමඟම එතුමා මේ රට දියුණු කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමූ බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම මේ රටේ ගම් 36000ක ජනතාවගේ මූලික  අවශ්‍යතාවන් වර්ධනය කිරීමට ද ජනාධිපතිතුමන් විසින් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ අද මුල් ගල තබන මෙම කුලුන මේ වන විට රටේ අවශ්‍යව පවතින එක් අංගයක් වන බවත්, සෑම විටම ජනාධිපතිතුමා එක ක්ෂේත්‍රයක් පමණක් සංවර්ධනය කිරීමට පියවර නොගත් බවත්ය.

ආර්ථික සංවර්ධනය සමඟ සංස්කෘතික, ක්‍රීඩා ඇතුළු හැමදෙයක්ම දියුණු කරන්න ජනාධිපතිතුමා කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසීය. මෙම ඉදිකිරීම් ආරම්භ කරන ලද කුලුන තට්ටු 90ක පමණ උස ගොඩනැගිල්ලක් වන බව  පැවසූ අමාත්‍යවරයා, ඕනෑම රටකට සංචාරකයෙක් පැමිණි විට අනිවාර්යයෙන්ම රටේ අගනුවරට සහ මුළු අගනුවරම නැරඹිය හැකි ස්ථානයකට යන බව පැවසීය.

මෙම කුලුන ඉදිකළ පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට කොළඹ නගරය ඇතුළු විශාල ප්‍රදේශයක් මෙහි මුදුනත සිට බැලිය හැකි වන බව පැවසූ අමාත්‍යවරයා, මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් පින්නවල අලි අනාථගාරය, පේරාදෙණිය උද්භිද උද්‍යානය මෙන්ම සීගිරිය යන ස්ථාන නැරඹීමට වැඩි ප්‍රමුඛතාවක් දැක්වුවත් ඉදිරියේදී මෙම ස්ථානය ද ඔවුන්ගේ ලැයිස්තුවට එක්වනු ඇති බව වැඩිදුරටත් පැවසීය.

ECB

basilbasilnelum2









Last Updated on Friday, 20 January 2012 14:25

නවතම - ආරක්ෂක

Follow Us
Follow Us
Follow Us