නෙළුම් කුලුන ඉදිකිරීම් කටයුතු අරඹමින් මංගල පස් පිඬැල්ල කැපේ
- Details
- Created on Tuesday, 17 January 2012 15:31
- Hits: 322
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරෙන නෙළුම් කුලුන නම් වූ බහු සම්ප්‍රේෂණ විදුලි සංදේශ කුලුන සඳහා ආරම්භක පියවර තබමින් අද (17) පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා අතින් මංගල පස් පිඬැල්ල කපන ලදී.
මෙම බහු සම්ප්‍රේෂණ විදුලි සංදේශ කුලුන සහ විනෝදාස්වාදය සපයන සේවා මධ්‍යස්ථානය කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06ක භූමි භාගයක ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසුවේ මෙම කුලුන ඉදිකිරීමේ කටයුතු අරඹමින් මෙහි මුල් ගල තැබීමේ උත්සවය මේ මස 20වන සිකුරාදා සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
මෙම අවස්ථාවට එක් වූ විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ අහස් කුස අරා නැඟෙන මෙම දැවැන්ත කුලුනු රාජයා මාස 30ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ ඉදිකිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.
මීටර් 350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උස ම කුලුන වශයෙන් ඉදිවන අතර, එය කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් වනු ඇතැයි ද පැල්පිට මහතා පැවසීය.
එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම කුලුන ඉදිකිරීමෙන් පසුව සංචාරකයින් මේ රටට ආකර්ෂණය කර ගැනීමට මෙය විශාල හේතුවක් වන බවයි.
ඉදිකිරීම් කටයුතු මේ මස 20 වැනි දින ආරම්භ කර මහල් ඉදිකිරීම් මාස මාස හයක් යනවිට ආරම්භ කෙරෙන බවත් පැය 24තුළ ම කරන ඉදිකිරීමක් බැවින් මාස 30ක කාලයක් තුළ දී මෙය ඉදිකර අවසන් කිරීමට හැකිවනු ඇති බවත් පැල්පිට මහතා වැඩිදුරටත් එහි දී පැවසීය.
ECB