Sat05252013

Last update18:36:13 UTC 2013

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කෙරේ

Sacred Kapilawasthu relics

ඉන්දියාවේ දිල්ලිනුවර සිට වැඩමකරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමූඛ සියනමක් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද මහත් හරසරින් යුතු ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (19) පිළිගන්නා ලදී.


2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද අතර එය ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික


සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නක් වෙයි. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත්කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට 1978 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර එය බුදුරජාණන් වහන්සේගේ පස්වැනි ශ්‍රී ලංකා ගමනය ලෙස ද සැලකේ. වසර 34 කට පසුව ශ්‍රී ලංකාවට වැඩි මේ ධාතූන් වහන්සේලා ලාංකීය බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙති.


ඉන්දියාවේ සංස්කෘතික කටයුතු ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය ප්‍රමූඛ එරට දූත පිරිස විසින් ඉන්දියාවේ සිට වැඩම කරවන ලද කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.


ජනාධිපතිතුමා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ මණ්ඩපයක තැන්පත් කළේය.


සම්මා සම්බුදු රජාණන් වහන්සේ පස්වැනි වතාවට ශ්‍රී ලංකාවට වැඩමකළා සේ සැලකෙන මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතු ශ්‍රී ලංකාවාසී අතිමහත් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමාන ලැබීමට සැප්තැම්බර් 04 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.


ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් බෙදාහැරීමේ දී ශාක්‍ය වංශික ඥාතීන් වෙත ලබාදුන් ධාතූන් වන්නේ මෙම කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේය. මෙම කපිලවස්තු සර්වඥධාතු වර්තමානයේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිප්‍රාවා නමැති ස්ථානයේ කළ කැණීම්වලින් සොයාගෙන ඇත. මෙම ධාතූන් වහන්සේලා ප‍්‍රථම වරට සොයාගෙන ඇත්තේ වසර 113කට ඉහත වන අතර අද පැරණි කපිලවස්තු පුරය ඉන්දියාවේ හැඳින්වෙන්නේ බිහාර් ප්‍රාන්තය ලෙසිනි. මෙම ධාතූන් සත්‍ය ලෙසම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් ලෙස තහවුරුකර තිබීම හේතුවෙන් ලෝකයේ බෞද්ධ බැතිමතුන්ගේ ඉමහත් ගෞරව පෙරදැරි වන්දනාමානයට පාත්‍රවී තිබේ.


දිවයිනේ ධාතූන් ප්‍රදර්ශනය කෙරෙන සෑම දිනෙකම උදෑසන, දහවල්, සවස ශබ්ද පූජාවන් සමඟ තේවාවන් පැවැත්වේ.


කැලණිය මානෙල්වත්ත විහාරයේ දී මෙම ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අද (19) හෙට (20) අනිද්දා (21) තෙදින බැතිමතුන්ට අවස්ථාව ලැබේ.


පැල්මඬුල්ල රජමහා විහාරයේ ලබන 22 හා 23 දෙදින සහ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ ලබන 24,25,26 යන තෙදින ද බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා ප්‍රදර්ශනය කෙරේ.

 
කන්තලේ අග්‍රබෝධි විහාරය ලබන 27, 28 දෙදින, ගම්පොළ සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ ලබන 29, 30 දෙදින, වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන ලබන 31 අගෝස්තු 01 දෙදින, මාතර කොටිකාගොඩ රජමහා විහාරය සැප්තැම්බර් 02, 03, 04 තෙදින ද බැතිමතුන්ගේ වන්දනය සඳහා ප්‍රදර්ශනය කෙරේ.


මෙම අවස්ථාවට සුදුවතින් සැරසී පැමිණෙන ලෙස වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.


මෙම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට හැකිවීම ඉන්දු - ශී‍්‍ර ලංකා දිගුකාලීන බැඳීම තවදුරටත් තහවුරු කරන්නක් වන අතර මේ සඳහා පූර්ණ දායකත්වය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාතයංශය සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන රැසක් සපයා තිබේ.


සර්වඥ ධාතූන් වැඩම කරවීමේ අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, මැති ඇමැතිවරුන්, පළාත් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අති විශාල පිරිසක් ගුවන් තොටුපොළටපැමිණ සිටියහ.

 

HC  Pix By : Sudath Silva

Sacred Kapilawasthu relics 1

Sacred Kapilawasthu relics

Sacred Kapilawasthu relics 2

Sacred Kapilawasthu relics  3

Sacred Kapilawasthu relics 4

Sacred Kapilawasthu relics 5

Sacred Kapilawasthu relics 6

ජනපති - පාර්ලිමේන්තුව

Follow Us
Follow Us
Follow Us