දළදා හාමුදුරුවන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය නිවුණු සැනසුණු දේශයක් සහ සදාචාරවත් සමාජයක් ගොඩනැගීමයි
- Details
- Created on Friday, 03 August 2012 11:40
- Published on Friday, 03 August 2012 11:40
- Hits: 142

ජාතියේ දුක්ඛ දෝමනස්සයන් අසා ඒවාට පිහිටවුණු දළදා හාමුදුරුවන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ නිවුණු සැනසුණු දේශයක් ගොඩනැඟීම සහ සදාචාරවත් සමාජයක් ගොඩනැගීම බව ජනාධිපතිතුමා පවසයි.
අප රටට පමණක් නොව ලෝකයට ම අද අපරාධ හිසරදයක් බවත් ත‍්‍රස්තවාදී අභියෝගයට රජයට තනිව මුහුණදීමට හැකි වුවත් සදාචාරවත් දේශයක් ගොඩනැඟීම රජයට පමණක් තනිව කළ නොහැකි බවත් පාසලට, පන්සලට, පල්ලියට, ගුරුවරයාට, දෙමාපියන්ට මෙන්ම උගතුන්ට මෙම වගකීම පැවරෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.
වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා නිමා කිරීම සැලකිරීමේ සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දීමේ උත්සවය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.
ලෝකවාසි බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශී‍්‍ර ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරකම පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා නිමා කිරීම සැලකිරීමේ සංදේශය දිවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේ ය.
සම්ප‍්‍රදායානුකූලව පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදි සිදු විය.
මෙපමණ කාලයක් මෙවන් මහා සංස්කෘතික මංගල්‍යක් පවත්වාගෙන ආවේ රටේ තිබු විනය, සංස්කෘතික පැවැත්ම නිසා බවත්, එවන් විනයක් සහ සාරධර්ම පවතින රටකට මෙම අපරාධ නැති කිරීම එතරම් අසීරු කරුණක් නොවන බවද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය.
රටට වගේම තමන් ජීවත්වන ප‍්‍රදේශයට අනන්‍ය වූ දේ රැකගත යුතුයි. පාරම්පරික උරුම ගැන සොයා බැලිය යුතුයි. අපේකම ගැන හැඟීමෙන් කටයුතු කළ විට සදාචාරය, සංස්කෘතිය ආරක්ෂාවනවා සේ ම රටත් ගොඩනැඟෙන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදි කියා සිටියේ ය.
‘දළදා අභිනන්දන කෘතිය’ සහ ‘පූජනීය දළදා සංස්කෘතික ශාස්ති‍්‍රය ග‍්‍රන්ථය’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදි සිදු විය.


ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, එස්.බී. නාවින්න, අතාවුද සෙනෙවිරත්න, පී. දයාරත්න, අමාත්‍ය සී.බී. රත්නායක, පි‍්‍රයංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිනි සෙනරත්, මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිතුමා, මහනුවර දිසාපතිතුමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහනුවර ශ්‍රී‍්‍ර දළඳා පෙරහැර සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් විසින් පවත්වන ලද කථාව
එක් දහස් හත්සිය වැනි ශ‍්‍රී දළදා පෙරහැර මංගල්‍යය හැටියටයි මේ අවසන් වුණ පෙරහැර මංගල්‍යය ඉතිහාසයට එක් වුණේ. ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම පුරාණ චාරිත‍්‍ර විධිවලට අනුව මෙවරත් පෙරහැර මංගල්‍යය පවත්වන්න ලැබීම සියලුම රට වැසියන්ට විශාල සතුටක්. ශ‍්‍රී දළදා වහන්සේ වසර එක් දහස් හත් සියයකට වඩා වැඩි කාලයක් ජාතියට තිබුණ වටිනාම රැකවරණය බව අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා තමයි ජීවමාන බුදුන් වහන්සේට දක්වන ශ‍්‍රද්ධාව ගෞරවය අඩුවක් නැතුව අපේ හදවත්වල ඇති කරගෙන මේ පෙරහැර මංගල්‍යය පවත්වන්නේ.
ඒ උතුම් කටයුත්ත සම්ප‍්‍රදායානුකූලව නිසි පරිදි සම්පූර්ණයෙන්ම අවසන් කළ බව සැල කරන්න ජනාධිපති මන්දිරයට පැමිණි දියවඩන නිලමේතුමන්, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලු දෙනා ඉතා ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගන්න මග පෙන්වන මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පෙරහැර භාරයේ සියලු දෙනාත් සහභාගී වූ කලාකරුවනුත් මේ අවස්ථාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.
දළදා හාමුදුරුවන්ට ආරක්ෂාවත් රැකවරණයත් දැන් තියෙන්නේ මෙම භූමියේ. ගුහසීව රජතුමා “බොහෝ භික්ෂූන් වැඩ සිටින ලක්දිවට දළදා හාමුදුරුවන් වැඩමවන්න” කියලයි හේමමාලා කුමරියට සහ දන්ත කුමරුට මඟ පෙන්නුවේ. අනුරාධපුර මේඝ ගිරි විහාරයට දළදා හාමුදුරුවො වඩමවපු පුවත එදා කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජුට මහත් ප‍්‍රීතියක්. පිරිවර සමඟ ගිහින් දළදා වහන්සේ වැඳ පුදාගත් අවස්ථාවේ රජ්ජුරුවන්ට දළදා වහන්සේගේ පැහැය පිළිබඳව ඇතිවූ සැකය දුරු කරන්න ඒ වෙලාවෙහිම අහසට පැන නැගලා පෙළහැර පෑ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා රජු සමඟ ජනතාව ශ‍්‍රද්ධාවෙන් දුන් සාධු නාදය අදත් දළදා හාමුදුරුවන් වෙනුවෙන් මගේ මාතෘ භූමියේ අඛණ්ඩව පැවැත් වෙනවා.
නොයෙක් අවස්ථාවල ඇති වූ සතුරු උවදුරු අනුව රටේ තැනින් තැනට රාජ්‍යත්වය මාරුවුණු සෑම අවස්ථාවකම එම රාජධානීවල පළමු රාජකාරිය හැටියට දළදා හාමුදුරුවන්ට පුද සත්කාර කරන්න මාලිගාවක් හැදුවා. ඒ වගේම පුද පූජා වරද්දන්නෙ නැතිව සිදු කළා.
රටට භයානක දුර්භික්ෂ ආපු අවස්ථාවලත් ගරුතර මහා සංඝ රත්නයත් මහජනතාවත් දළදා වහන්සේ රැක ගන්න කටයුතු කළා. පෘතුගීසීන්ගේ ආක‍්‍රමණයන්ට මේ රට පත් වෙනකොට දළදා හාමුදුරුවො වැඩ සිටියෙ කෝට්ටේ. එදා දෙගල්දොරුව රජ මහා විහාරයට වැඩම කරවලා කුරහන් ගලක සඟවා දළදා හාමුදුරුවො ආරක්ෂා කරගන්න කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඉංග‍්‍රීසීන් 1815 දි කන්ද උඩරට යටත් බලය ගත්තට දළදා හාමුදුරුවන් වෙනුවෙන් කළ යුතු බුහුමන්වලින් ඔවුන්ට මිදෙන්න බැරිවුණා. රටේ ජනතාව, රට අතහැරුණත් දළදා හාමුදුරුවන් පිළිබඳව තියෙන පුද පිළිවෙත් අතහැරියේ නැහැ. දළදා හාමුදුරුවන් වෙනුවෙන් පවත්වපු පෙරහැරේ සුදු ජාතික පාලකයොත් ගමන් කරන්න වුණේ ඒ නිසයි. එයින් රටේ ජනතාවගේ භක්තිය පිළිබඳව අපට අවබෝධයක් ලැබෙනවා. ඒ වාගෙම 1853 දී දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වය අස්ගිරි, මල්වතු නාහිමිවරුන්ට පවරන්නත් ජනතාව දළදා හාමුදුරුවන් කෙරෙහි තිබු අසීමිත ගෞරවය හේතු වුණා.
ජාතියේ දුක්ඛ දෝමනස්සයන් අහපු හැම අවස්ථාවකම ඒවාට පිහිටවුණු දළදා හාමුදුරුවන්ට අපිට ගෞරවය කළ හැක්කේ නිවුණු සැනසුනු දේශයක් මේ රටේ ගොඩනඟලයි. ඒ නිසයි අපි ත‍්‍රස්තවාදය පරාද කරලා රට එක්සේසත් කරලා ජනතාවට සැනසීම ලබා දීලා බියෙන් හා සැකෙන් තොරව දළඳා හාමුදුරුවන්ට ගෞරව කරන්න අවස්ථාව ලබාදුන්නේ. ත‍්‍රස්තවාදය තියෙන කොට ඒ දිහාම බයෙන් බලාගෙන හිටපු නිසා ඒ දවස්වල රටේ සිද්ධවුණ අපරාධ කාගෙත් වැඩි අවධානයට ලක් වුණේ නෑ. එක ප‍්‍රහාරයකින් සිය දහස් ගණනක් මැරෙනකොට, ඔවුන්ට කරදර වෙනකොට ගමක නගරයක දරුවෙක්, වැඩිහිටියෙක් පුද්ගලිකව කරදරයට ලක් වෙන එක පෙනුණේ නෑ.
නමුත් දැන් ඒ විනාශකාරී යුගය, මහා මිනිස් ඝාතන යුගය නිමා වුණ නිසා ගමේ රටේ තිබෙන සිදුවෙන සුළු සිද්ධීන් පවා පෙනෙන්න පටන් අරගෙන. හදිසි අනතුරු ගැන වුණත් ජනතාවට අවධානය ඉතා වැඩියි. මතක තියා ගන්න අපි රට සාමාන්‍ය තත්වයට ගෙනත් තිබෙනවා. සුළු සිද්ධියක් වුණත් මිනිසුන්ට එය දැනෙනවා. නීති විරෝධී අවි අතට ගත්ත කල්ලි, පාතාලය, කුඩු ජාවාරම සෑභෙන දුරට පාලනය වෙලා. අපි ඔවුන්ව නීතිය ඉදිරියට ගේනවා. එවිට ජනතාවගේ අවධානය ඊට යොමු වෙනවා. නමුත් අද මේ රටේ අපරාධ රැල්ලක් තියෙන බව පෙන්නන්න සමහරු කටයුතු කරනවා. අපෙනුත් අහනවා මේ අපරාධ නවත්වන්න බැරිද කියලා.
අපේ රටේ විතරක් නොවෙයි ලෝකෙටම අද අපරාධ හිසරදයක්. යුද්ධ නැතිව ආයුධවලින් විතරක් දවසකට ලෝකයේ 2000ක් පමණ මැරෙන බව වාර්තා වෙලා තියනවා. ඒ නිසා ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ වගකීම රජයට තනියෙන් දරන්න පුළුවන් වුනාට සදාචාරාත්මක රටක් හදන්න රජයකට පමණක් බැහැ. ඒ සඳහා මුළු සමාජයම එක්වෙන්න ඕනෑ. පාසලට, පන්සලට, පල්ලියට, ගුරුවරයාට, දෙමාපියන්ට, උගතුන්ට වගේම මාධ්‍යයටත් මේ වගකීම පැවරෙනවා. එය කාටවත් පවරා එයින් මිදෙන්න කාටවත් බැහැ. සමහර බලවත් රටවල් රාජ්‍ය බිහිවෙලා තාමත් එපමණ කලක් නැහැ. නමුත් අපේ මේ දළදා පෙරහැරටම වසර දාහකට වැඩියි. මෙපමණ කාලයක් මේ වාගේ මහා සංස්කෘතික මංගල්‍යයක් පවත්වාගෙන එන්න පුළුවන් වුණේ රටේ තිබුණ විනය හා සංස්කෘතික පැවැත්ම නිසායි. මේ වගේ දැවැන්ත මංගල්‍යයක් කරන්න ලොකු විනයක් ඕනෑ. එහෙම විනයක් සාරධර්ම තියෙන රටකට මේ අපරාධ නැති කරන එක ඒ තරම් දෙයක් නොවෙයි.
ඒ සඳහා අපි මේ රට පියවර ගණනාවකින් ඉදිරියට අරන් තියෙනවා. අපි හැමෝම සදාචාරාත්මක දේශයක් හදන්න තව තවත් පෙරට එන්න ඕනෑ. ඒ සඳහා අපේ වටිනාකම්, මාතෘ භූමියේ වටිනාකම්, සංස්කෘතික වටිනාකම් පිළිබඳව හොඳ අවබෝධයෙන් වැඩ කරන්න ඕනෑ.
ජාත්‍යන්තර පාසල්වල සංස්කෘතිය, ආගම, ඉතිහාසය වැනි දෑ උගන්වන්නේ නැහැ. එයින් බිහිවෙන දරුවා බිහිවෙන්න ඉඩදීලා සමාජය හදන්න කතා කරනවා. ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න අපට සිදුවෙනවා.
සියම් නිකායේ උපසම්පදා විනය කර්මය කරලා ලබන වසරට වසර 260ක් සම්පූර්ණ වෙනවා. එය ඉතා ඉහළින් සමරන්න, අලුත් පුනර්ජීවයක් ඇති කරන්න පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්න වගේ ම ඔබ සියලු දෙනාගේ දායකත්වය මල්වතු, අස්ගිරි පාර්ශවයන්ගේ මග පෙන්වීම අනුව ලබා දෙන්න අප බලාපොරොත්තු වෙන බව මා කියන්න ඕනෑ.
රටට වගේම තමන් ජීවත් වන ප‍්‍රදේශයට අනන්‍ය වූ සංස්කෘතිය, උරුමය රැක ගන්න ඕනෑ. පාරම්පරිකව උරුම වෙලා තියෙන දේ හොයා බලන්න ඕනෑ. අපේ දරුමල්ලො රැක ගන්නවා වගේම අපේ උරුමයත් රැක ගත්තොත් තමයි මේ රට සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න පහසු වෙන්නේ. අපේ භික්ෂූන් වහන්සේලාට, දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කරන්න ඕනෑ. අපේකම ගැන හැඟීමෙන් කටයුතු කළාම සදාචාරය සංස්කෘතිය රැකෙනො වගේම රටත් ගොඩ නැගෙනවා. දළදා හාමුදුරුවන්ට බෞද්ධ අපෙන් වෙන්න ඕනෑ ඉහළම ගෞරවයත් එය කියලා මම විශ්වාස කරනවා.
ඔබ සැමට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි !
HC/SK_pmu_Pix By : Sudath Silva