මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ දිවියෙන් බිඳක්

    ජනවාරි 12, 2015
    පුලතිසිපුර ලක්ෂ උයන ගොවි ජනපදයේ ඉපිද ලොව දිනන්නට සමතෙකු ලෙස හැදී වැඩුණු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙමාපියෝ සියනෑ කෝරලයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් රජරට ගොවි බිම් වෙත සංක්‍රමණය වූවෝ ය. දෛවෝපගත ලෙස, මෛත්‍රීගේ උපත සිදු වූයේ 1951 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය නිල වශයෙන් ආරම්භ වී හෝරා කිහිපයක් ගෙවී ගිය තැන යි. ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ පුරෝගාමී නායකයා වන බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය වන ජනවාරි 08 වැනි දා සමස්ත විපක‍්ෂයේ මහා සම්මත අපේක‍්ෂකයා වන මෛත්‍රී, ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් පත් වනු ඇත්තේ රාජධානි යුගයෙන් පසුව රජරටින් බිහිවන පළමු රාජ්‍ය නායකයා වශයෙනි.    
     
    මෛත්‍රීගේ පියා දෙවන ලෝක යුද සමයේ සක්‍රීය හමුදා සේවයේ යෙදුණු නිලධාරියෙකි. මව පාසල් ගුරු මාතාවකි. 1940 දශකයේ අග භාගයේ දී මෛත්‍රීගේ පියා සිය පවුලේ සමාජිකයන් ද සමඟ පොලොන්නරුවට පැමිණියේ සේවා මුක්ත හමුදා නිලධාරීන් හට ඩී.එස්. සේනානායක රජයෙන් ලබා දුන් ගොවි බිම් අස්වැද්දීමට ය.
     
    පොලොන්නරුව තෝපා වැව මහා විද්‍යාලයේ සහ පසුව පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි අවදියේදී ම සමාජ හා දේශපාලන කරුණු පිළිබඳ මෛත්‍රී තුළ තිබූ සහජ උනන්දුව හා කුතුහලය න්‍යායාත්මක දේශපාලන අවබෝධයක් බවට පත් කර ගැනීමට මෛත්‍රීට ඉවහල් වූයේ ලංකා කොමියුනිස්ට් පක‍්ෂයේ චීන පිලෙහි නායක ශන්මුගදාසන් සහෝදරයාගේ ඇසුරයි. සමාජවාදී දෘෂ්ටියෙන් ද සහජ නායකත්ව ගුණයෙන් ද හෙබි මෛත්‍රීපාල නම් පාසල් ශිෂ්‍ය නායකයා පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ ඇරයුමෙන් පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ලේකම් ධූරයට පත් වන විට ඔහුට වයස අවුරුදු 17 සපිරුණා පමණි. පසුව 1971 කැරැල්ල සමයේ දී මඩකලපුව බන්ධනාගාරය තුළ මෛත්‍රීට සිරබත් කන්නට සිදු වූයේ ඔහු පාසලේ දී පෙන්වූ  සහජ ප්‍රගතිශීලී තරුණ නායකත්ව ගුණාංගය නිසාම ය.img038
     
    බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි මෛත්‍රීපාල, අනුර බණ්ඩාරණායක මහතා නායකත්වය දුන් සමස්ත ලංකා ශ්‍රී.ල.නි.ප. තරුණ සම්මේලනය තුළ සක්‍රීය භූමිකාවක් ඉටුකරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ය. තරුණ අවදියේ දී රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ මෛත්‍රී, 1978 වර්ෂයේ දී ඒ සියල්ලෙන් ඉවත්ව ශ්‍රී.ල.නි.ප.යේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු ලෙස නව දේශපාලන ගමනක් ඇරඹී ය.  
     
    1981 වන විට ශ්‍රී.ල.නි.ප. තරුණ සම්මේලනයේ සභාපති ධූරය අනුර බණ්ඩාරනායක මහතා විසින් ද, ලේකම් ධූරය බැසිල් රාජපක‍්ෂ මහතා විසින් ද භාණ්ඩාගාරික ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ද දැරූ අතර 1982 ජනාධිපතිවරණය අවස්ථාවේ දී බැසිල් රාජපක‍්ෂ මහතා එ.ජා.ප.යට එක් වූ විට එම තනතුරෙහි වගකීම ද භාරගත් තරුණ මෛත්‍රීට පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ සංවිධායක ධූරය ද හිමි විය.
     
    පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989දී තේරී පත් වූ මෛත්‍රී, 1994 පොදු පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 1997 දී සිදු කළ එම ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනයේ දී ඔහු මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.
     
    එතැන් පටන් මෛත්‍රීග දේශපාලන ජීවිතයේ වගකීම් බහුල කාලපරිච්ඡේදයක් උදා විය. ශ්‍රී.ල.නි.ප.යේ උප ලේකම් ධූරයට 1997 වසරේ දී පත් වූ මෛත්‍රී, 2001 වසරේ දී පක්ෂ මහ ලේකම් ධූරයට පත්ව පුරා වසර 14ක් අඛණ්ඩව එම තනතුර දරයි. එමෙන්ම, ඔහු තවත් ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධූර ගණනාවක් එක්වර දරමින් සිය විෂය ක්ෂේත්‍ර තුළ පුරෝගාමී සහ විප්ලවීය කාර්යයන් ගණනාවකට නායකත්වය දුන්නේ ය. 
     
    ගොවි ජන හද ගැස්ම සැබෑ ලෙස හඳුනන මෛත්‍රී, කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය දරමින් තමා හැදී වැඩුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පරිසරයේ පාරම්පරික දැනුම, නව ලොව දැනුම සමඟ මුසු කරමින් නිර්මාණශීලී කෘෂි ව්‍යාපෘති ගණනාවක් රටට හඳුන්වා දුන්නේය. තව ද, අස්වනු වැඩිකර ගොවියා සමෘද්ධිමත් කරනු වස් සහනාධාර රැසක් ලබා දීමට ද ඔහු පුරෝගාමී විය. මොරගහකන්ද - කළු ගඟ සහ වලවේ වම් ඉවුර වැනි වාරි යෝජනාක්‍රම දියත් කළේ මෛත්‍රී විසිනි.
     
    වසර ගණනාවක සිට මෛත්‍රී කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස කිලෝ 50 පොහොර මිටිය රුපියල් 350.00ට ගොවි ජනතාවට ලබා දීම පිළිබඳ සන්ධාන ආණ්ඩුවේ පොරොන්දුව යථාර්ථයක් කරවීමට හැකි වූයේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෛත්‍රීගේ කැපවීම හේතුවෙනි.
     
    කලක් අකර්මණ්‍යව පැවති වී අලෙවි මණ්ඩලය සම්පූර්ණයෙන් වසා දැමීමට 2000 වසරේ දී කෘෂිකර්ම ඇමතිවරයා ලෙස දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට එකහෙළා එරෙහි වූ මෛත්‍රීපාල මහතා, එය පරාජය කිරීමට විපක‍්ෂයේ හා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තේ ය. එසේ, වී අලෙවි මණ්ඩලය රැකගත් මෛත්‍රී 2005 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූ පසුව එය පූර්ණ බලැති රාජ්‍ය ආයතනයක් බවට පරිවර්තනය කළේ ය. සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය අදත් ක්‍රියාත්මක වන්නේ එදා මෛත්‍රී යළි ගොඩ නැගූ වී අලෙවි මණ්ඩලය මඟිනි. 
     
    දේශීය ආහාර නිෂ්පාදනය ජාතික මට්ටමින් ඉහළ නංවා රට අහරින් ස්වයංපෝෂිත කිරීමට දියත් කළ "අපි වවමු - රට නගමු" වැඩසටහන මෛත්‍රීගේ සංකල්පයකි. එය සැබවින් ම ගොවියා රජ කරවන වැඩසටහනක් විය. ඒ තුළ, වසරකට රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වප් මඟුල් උත්සව සංවිධානය කෙරුණු අතර පුරන්ව ගිය කුඹුරු අක්කර දස ලක්ෂයකට වඩා යළි අස්වැද්දීමට හැකි විය.  ගෙවත්තේ සිට නාගරික තට්ටු නිවාසය දක්වා අඩුතරමින් එළවළු පැළයක් හෝ වගා කිරීමට රට ම පෙළ ගැසුණු යුගයක් එමඟින් ඇරඹිණි.  අපි වවමු - රට නගමු වැඩසටහනේ සාර්ථකත්වය කෙසේ ද යත් එය ආණ්ඩුවේ ම ඇතැම් පාර්ශවයන්ගේ ඊර්ෂ්‍යාවට ද පාත්‍ර විය. 
     
    මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 - 2014 කාලය තුළ ඔහු ඉටුකළ සේවාව අද්විතීය වේ. අප රට දුම්වැටියෙන් සහ මධ්‍යසාරයෙන් මුදවා ගැනීම සඳහා ඔහු ගෙන ගිය හුදකලා අරගලය අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා හාවර්ඩ් විශ්වවිද්‍යාලය 2013 වසරේ දී ඔහු සම්මානයට පාත්‍ර කිරීම එය සනාථ කිරීමකි.
     
    img040දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම පිණිස මෛත්‍රී විසින් ගෙන එන ලද පනත් කෙටුම්පත මෑත කාලීනව රටේ මහත් ආන්දෝලනයකට ලක් වූවකි. එම පනත මඟින් සිගරැට් පැකට්ටුවේ පිළිකා අවදානම දැක්වෙන රූපමය කොටස 80%ක් විය යුතු බව නිර්දේශ කර තිබිණි. එහෙත් අවසානයේ දී එය 60% දක්වා අඩු කිරීමට කටයුතු කෙරිණි.
     
    මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල මහතා, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නොබියව ඉදිරිපත් වුව ද ඖෂධ සමාගම් ඊට අකුල් හෙළී ය. ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළ දී එම පනත් කෙටුම්පත අතුරුදහන් වීම ජනතාවගේ අවාසනාවයි.
     
    දශක හතරකට අධික දේශපාලන අත්දැකීම් සමුදායකින් පරිපූර්ණ වූ මෛත්‍රීපාල මහතා ත්‍රස්තවාදීන්ගේ ඝාතන ප්‍රයත්න වැඩි ම සංඛ්‍යාවකින්, එනම් ආසන්න ඝාතන උත්සාහයන් පහකට මුහුණ දුන් සිංහල ජන නායකයා ය. සැබවින් ම, ඔහු බොරලැස්ගමුවේ දී මුහුණ දුන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව දිවි ගලවා ගත්තේ ජාතියේ වාසනාවට ය. 2009 මැයි මස යුද්ධයේ අවසන් දින කිහිපය ද ඇතුළුව අවස්ථා පහක දී ම වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කළ මෛත්‍රී සිය වගකීම නිර්භයව ඉටු කළ නායකයෙකි.   
     
    පසුගිය දශකයකට ආසන්න කාලයක් ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ලැබූ මැතිවරණ ජයග්‍රහණ සියල්ලට උරදුන් අපරිමිත සංවිධාන ශක්තිය වූයේ ශ්‍රී.ල.නි.පයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා ය. මානුෂවාදී දෘෂ්ටියේ සහ සුපිරිසිදු දේශපාලනයේ ප්‍රතිමූර්තියක් බඳු මෛත්‍රී, ජනතා අරගලයන්ට නායකත්වය දෙන්නෙකි. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්නෙකි. ගොවියා, ගැමියා සහ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින්නෙකි.   mini18
     
    මෙම ජනාධිපතිවරණයට මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ දේශපාලන පක්ෂ සහ සංවිධාන 47ක ඒකමතික එකඟතාවෙනි. ජාතික අභියෝග හමුවේ සියලු පක්ෂ එකඟතාවකට එළඹ කටයුතු කිරීම අපි මින් පෙර ද දැක ඇත්තෙමු. ඒ, යම් උපද්‍රවයකින් මිදීම සඳහා සමස්ත ජාතිය ම එක් විය යුතු වූ අවස්ථාවන්හි දී ය. 2004 වර්ෂයේ දී ශ්‍රී.ල.නි.ප.ය සහ ජ.වි.පෙ. අතර ද, 2006 වර්ෂයේ දී ත්‍රස්තවාදය පරාජය කිරීම පිණිස ශ්‍රී.ල.නි.ප.ය සහ එ.ජා.ප.ය අතර ද මෙවැනි ම  එකඟතා ගිවිසුම් අත්සන් තැබුණේ ය. එම අවස්ථා දෙකේ දී ම, ආණ්ඩුව සහ ශ්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් එම ගිවිසුම්වලට අත්සන් කළේ මෛත්‍රී ය. මෙවර ද ශ්‍රී.ල.නි.ප.යේ විශාල පිරිසක් ද සමඟ සමස්ත විපක්ෂය මෛත්‍රී වටා ඒකරාශී වී සිටිනු ඇත.
     
     
     
    ධනුෂ්ක රාමනායක / NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya