අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිතු උපතින් සැරසෙන නත්තල් අසිරිය

    දෙසැම්බර් 26, 2014

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ඊයේ (25) දිනයේ ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබූහ.

    නත්තල් උත්සවය කිතුනු බැතිමතුන් විසින් පමණක් නොව වෙනත් ආගම්වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම සමරන උත්සවයකි.

     

    ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් සියයට 7ක් පමණ වන කතෝලික බැතිමතුන් රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදුණාහ.

     

    කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රී 12.00ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මොරටුව, කඩොලාන සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්විණි.

     

    නත්තල නැතහොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.

     

    ‍මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල පිළිබඳ ව ශුද්ධ වූ බයිබලයේ ලූක් සහ මතෙව් යන කතුවරුන් ලියා ඇත. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට ඉපදුණු බව එහි සඳහන් වේ.

     

    ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගව ලෙනක දී (stable) සිදුවූ බව කියැවෙන නමුත් බයිබලයේ සඳහන් වන පරිදි එය ගව ඔරුවක දී (manger) සිදුවී ඇත. එය අදටත් බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේ උපත ලද ස්ථානයේ ඉදි කර ඇති දේවස්ථානයට පහළින් පිහිටා තිබේ. දේව දූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ඉන්පසු ඔවුන් බිළිඳු ජේසු තුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම ද ඔවුහු වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර පවසා තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

     

    සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුළ, විවිධ ආගමික කටයුතුවල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් කැරොල් ගීත (Christmas Carols) ගායනා කිරීම සිදු කරති. ‍

     

    මේ කාලයට සෑම කිතුණු නිවෙසකම ජේසු තුමන් ඉපදුණු ගව ලෙන සහ අදාළ චරිත කලාත්මක ප්‍රතිරූපවලින් නිරූපණය කෙරෙන අතර මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුවට ද වැදගත් ස්ථානයක් හිමි වේ. ඔවුන් ‍බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන වල්ගා තරුව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳලාටු සහ සුවඳ දුම් පුද කර ඇත. එසේම විවිධ සැරසිලි මෙම නත්තල් සමය තුළ දැක ගැනීමට හැකි වේ. ඒ අතරින් නත්තල් ගස ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලිවලින් අලංකාර කරනු ලැබේ. මේ නත්තල් ගසේ මූලාරම්භය සිදු ව ඇත්තේ ජර්මනියෙන් ය.

     

    නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන්, නෑදෑයින්, අසල්වැසියන් අතර තෑගි හුවමාරු කර ගැනීම ද විශේෂත්වයකි. සාමය, සතුට සහ ප්‍රේමය මෙමඟින් නිරූපණය කරයි.

     

    ලොව පුරා නත්තල් සැමරුම් අතරින් බෙත්ලෙහෙමේ ජේසුස් වහන්සේ උපත ලද ස්ථානයේ ඉදි කර ඇති දේවස්ථානයේ (Church of the Nativity) දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ පැවති නත්තල් දේව මෙහෙයට ලොව පුරා දහස් සංඛ්‍යාත බැතිමත්හු සහභාගී වූහ.

     

    එසේම ඉතාලියේ රෝමයේ පිහිටි බැසිලිකා දෙව්මැදුරේ දී අතිඋත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ පැවති නත්තල් දේව මෙහෙය පවත්වන ලද අතර බැතිමතුන් 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටි බව වතිකාන ප්‍රවෘත්ති පවසයි. එහිදී ශුද්ධෝත්තම පාප්වහන්සේගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වූයේ ලෝකයට කරුණාව අත්‍යවශ්‍ය බවයි. ලොව පුරා පවත්නා යුද්ධයන් හා ස්වාභාවික විපත් ඇතුළු වසංගත රෝග පිළිබඳ නිරතුරු සිය අවධානය යොමු කරන ශුද්ධෝත්තම පාප්වහන්සේ සිය නත්තල් පණිඩුඩය ඒ තුළින් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya