මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට අපේක්ෂකයෙකු සොයා ගන්න බැරි වීමෙන් විපක්ෂයේ නායයාම හිතාගත හැකියි

    නොවැම්බර් 20, 2014

    ජනාධිපතිතුමා මේ ජනාධිපතිවරණයෙන් 58%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා එක ඉර හඳ වගේ විශ්වාස බවත් විපක්ෂයට අපේක්ෂකයෙකු සොයා ගන්න බැරි වී තිබීමෙන් ප්‍රබල විපක්ෂය මොන තරම් නායයාමකට භාජනය වී තිබෙනවා ද යන්න සිතා ගත හැකි බවත් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අප රටින් අතුගා දැමූ රාජ්‍ය නායක ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිතුමා ජන්ම දිනය සමරන අද වගේ ශ්‍රේෂ්ඨ දිනයක මේ සභාව හමුවේ අදහස් දක්වන්නට ලැබීම අතිශයින් ම සතුටට කරුණක්. ඒ වගේම දෙවැනි පදවි ප්‍රාප්තියේ සිව්වන සංවත්සරය යෙදී තිබීම ඉතා වැදගත් වූ කරුණක්. මේ ගෙවී යන්නේ අපේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් දින කීපයක්. තව පැය 30ක් ගතවීමට පෙර මේ රටේ මීළඟ ජනාධිපතිවරණයේ පළමු වෙඩි මුරයේ පණිවිඩය දැනගන්නට මුළු මහත් රට ම බලා සිටින මොහොතක්. ඒ ඓතිහාසික පණිවිඩය තව පැය කිහිපයකින් අපේ රටේ ජනතාව දැනගන්නවා. හැබැයි 29 වතාවක් මැතිවරණවලට මුහුණ දීලා එම මැතිවරණ පරාජයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂයට තාම බැරිවෙලා තියෙනවා අපේක්ෂකයෙකු හොයාගන්න. එකෙන් අපට තේරුම් යනවා මේ ප්‍රබල විපක්ෂය මොන තරම් නායයාමකට භාජනය වෙලා ද කියලා යැයි ඔහු අවධාරණය කළේය.

    එක්සත් ජාතික පක්ෂයත් එක්ක මුක්කු ගහලා තියෙන අනෙකුත් පක්ෂවලටත් බැරිවෙලා තියෙනවා මෙන්න අපේ අපේක්ෂකයා කියලා නම් කරන්ඩ. මේ කට්ටිය කරන්නේ අපේ ගම්වල සිංහල අවුරුදු කාලෙට තියෙන ලිස්සන ගහේ නගිනවා වගේ සෙල්ලමක් ලිස්සන ගහේ නගින කොට පක්ෂ බේද, ජාති කුල බේද, මොකුත් නැහැ. ගමේ ම කොල්ලො කුරුට්ටො ටික එකතු වෙනවා. උදේ ඉඳලා රෑ වෙනකම් එකා පිට එකා උඩ නැගලා ගහේ තියෙන ග්‍රීස් ටික හුර හුර ගහ පල්ලෙහාට දානවා. කොඩියට කිට්ටු වෙන්නවත් බෑ. විපක්ෂයත් අන්න ඒ වගේ. තාම ග්‍රීස් ගහේ නඟිනවා. අන්තිමට අතේ ග්‍රීස් ගාගෙන ගහ මුලට වෙලා හූල්ල හූල්ල කොඩිය දිහා බලන් ඉන්නවා. අන්න ඒ වගේ තමයි ජනාධිපතිතුමා එක්ක තරග කරලා දිනන්න පුළුවන් සමතෙක් තාම විපක්ෂයට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේ ජනාධිපතිවරණයෙන් 58%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි යනුවෙන් ඔහු අවධාරණය කළේය.‍

    මේ ගෙවී යන්නේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් හෝරා කිහිපයක්. මහින්දට තුන්වරක් බෑ කිව්වා, දැන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා ඉවර නිසා. දැන් ඒ පදේ ජනතාව අතරට ගෙනියන්නත් බැහැ. ජ.වි.පෙ. තාමත් ඒක කර උඩ තියාගෙන තවලමේ යනවා. මැතිවරණයට මුහුණ දෙන්ඩ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න බැරි එක්සත් ජාතික පක්ෂය, කල් ඉකුත් වෙච්ච නායකයෝ ටික ඉස්සර කරගෙන වීදි සටන් කරමින්  පරාජයෙන් ගැලවෙන්ඩ උත්සහ කරනවා. කොටින් ම අද දමිළ නායකයන් පවා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්න ප්‍රතිඥා දීලා ඉවරයි. දෙමළ ඩයස්පෝරාව මොනවිදියේ ක්‍රම අනුගමනය කළත් ගම් මට්ටමේ, බිම් මට්ටමේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන  සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, වෛද්‍ය, නීතිඥ, සකල කලාකරුවන්, රාජ්‍ය සේවක, විශ්‍රාමික, ධීවර, කිරි ගොවීන්, තේ, පොල්, රබර්, වී ගොවීන් ඇතුළු  රටේ සියලු දෙනා අද ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරට එන්න ප්‍රතිඥා දී අවසානයි. ආයේ දෙකක් නැහැ පාප්වහන්සේ ජනවාරි 13දා මේ රටට සැපත් වෙන්නේ අපේ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ඓතිහාසික විජයග්‍රහණයක් ලබා දීමේ පණිවිඩයේ සතුටත් එක්කයි.

    පැල්වත්ත - සෙවණගල කියන්නේ ඌව වෙල්ලස්සේ හදවතයි. සීනි කර්මාන්ත ශාලා රජය ප්‍රතිසංසවිධානය කිරීම තුළින් දේශීය සීනි කර්මාන්තයේ මේ පසුගිය අවුරුදු 03 ඇතුළත අපට විශාල ප්‍රගතියක් පෙන්නුම් කිරීමට හැකියාව ලැබුණා. දේශීය සීනි නිෂ්පාදනය 05% සිට 10% දක්වා ප්‍රගතියක් ඇති වුණා. පසුගිය වසර තුනක කාලය සිට සීනි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නැංවීමට අපිට හැකි වුණා. අපි ලැබූ ශුද්ධ ලාභයෙන් උක් ගොවීන්ට හා සේවක මහත්ම මහත්මීන්ට දිරි දීමනා ලබා දීමත්, ඔවුන්ගේ නිෂ්පාදන ශාක්‍යතාවන් ඉහළ නැංවීමටත් කටයුතු කළා. ඒ අනුව පැල්වත්ත ගොවි මහත්ම මහත්මීන් 4,226 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 648කුත්, සෙවණගල ගොවි පවුල් 2,098 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 780කුත්, ලබා දෙන්න අපට හැකි වුණා. දිරි දීමනා ලෙස පැල්වත්ත සේවක මහත්ම මහත්මීන් 3,201 දෙනෙකු වෙත ලක්ෂ 888කුත්, සෙවණගල සේවක මහත්ම මහත්මීන් 790 දෙනෙකු වෙත ලක්ෂ 600ක් ද අපි ලබා දුන්නා. ලබා දුන් මුළු මුදල රුපියල් ලක්ෂ 840යි. රුපියල් මිලියන 80කට වැඩියි. ගොවි මහතුන් 20 දෙනෙකු වැඩිදුර උක් කර්මාන්තය පිළිබඳ ව හැදැරීම සඳහා විදේශ සංචාරවලට සහභාගි කරවීමට හැකියාව ලැබුණා.


    2015 වසර සඳහා පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයෙන් අප අපේක්ෂිත උක් අස්වැන්න මෙ.ටො. 330,000යි. සෙවණගල මෙ.ටො. 2,78,000යි. පැල්වත්ත සමාගමෙන් සීනි නිෂ්පාදනය මෙ.ටො. 28,380යි. සෙවණගලින් 22,415යි. ඒ වගේම ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රප්තිය වෙනුවෙන් සෙවණගල හතේ කණුව ධර්මාලෝක විද්‍යාලය හා පැල්වත්ත දිවා සුරැකුම් මධ්‍යස්ථානය හා පෙරපාසල අපි නවීකරණය කිරීමටත් කටයුතු  කළා. වල් බිහිවෙමින්, යන්ත්‍ර සූත්‍ර දිරාගිය කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු දෙසැම්බර් 04 වෙනි දා උදේ අපි සුබ මොහොතින් ආරම්භ කරනවා යැයි ද ඔහු කීය.

    මෙවර අයවැය යෝජනා මඟින් අපිට රුපියල් මිලියන 5,000ක් වෙන් කර දීමට  ජනාධිපතුමා කටයුතු කළා. එතුමාට අප ප්‍රසංශා කරනවා. එය අපට මෙම කර්මාන්ත ශාලාව නගාසිටුවීමට ලොකු ශක්තියක්. ත්‍රස්තවාදය පැවැති සමයේ ආයුධ ගෙන්වීම සඳහා පමණයි, මෙවැනි විශාල මුදලක් වෙන් කළ්. අද නැගෙනහිර ගොවි පවුල් නගාසිටුවීම සඳහා එම මුදල් වෙන් කර තිබෙනවා. එපමණක් නෙවෙයි උක් මෙට්රික් ටොන් 01ක් සඳහා ගොවියාට ගෙවන මුදල රු. 4500ක් දක්වා වැඩි කරන ලෙස මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. උක් පර්යේෂණ සංවර්ධන කටයුතු උදෙසා සියලු අවශ්‍යතා සපුරාලීමට ද එතුමා කටයුතු කොට තිබෙනවා.

    සියලු අංශවල ක්‍ෂේත්‍ර නිලධාරීන් වෙනුවෙන් අද යතුරු පැදි ලබා දී තිබෙනවා. මහජන නියෝජිතයින්ගේ දීමනා 250%කින් වැඩි කර තිබෙනවා. උතුරු හා කඳුරට අධිවේගී මාර්ග ව්‍යාපෘති සෞභාග්‍යයේ රන් දොරටු අද විවෘතී තිබෙනවා. 2005 වසරේ දී එතුමා භාර ගත්තේ ගිනි ගත්තු දේශයක්. විදේශ රටවල් අප රට හඳුන්වා දී තිබුණේ මිනී කන්නන්ගේ දේශයක් කියලයි. 2007 දී අපට ලෝක මුල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. 2008 දී ලෝක තෙල් අර්බුදයකට මුහුණ දීමට සිදුවුණා. 2009 දී ලෝක ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. අද ඒ සියල්ල අප ජයගෙන තිබෙනවා. අපේ රටේ උද්ධමනය 15% සිට අද 4% දක්වා පහළට ගෙනත් තිබෙනවා. විරැකියාව 22% සිට 4.6% දක්වා පහත හෙළීමට හැකි වී තිබෙනවා. දුප්පත්කම 19%ත් 20 % අතර තිබුණේ. අද එය 4%ත් 5% දක්වා අඩු කරන්න පුළුවන්කම ලැබී තියෙනවා.

    අද ජනාධිපතිතුමාට විපක්ෂය කියන්නේ ඒකාධිපති පාලකයා කියලයි. මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ අවුරුදු ගාණක් රට පාලනය කලා ඒ නිසා ඒ රටවල් දියුණු වුණා. ජනතාව එවැනි නායකයන්ව එලෙව්වේ නැහැ. ඔවුන්ට කිව්වේ සොඳුරු ආඥාදායකයා කියලයි. අපේ රට ඔසවා තබන්නට පුළුවන් එක ම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි. දිගු කලක් බලයේ රැඳී සිටියොත් පමණයි සංවර්ධන ඉලක්ක ජයගත හැක්කේ විපක්ෂය දැන් රොටිය තැටියට දාලා ඉවරයි. හැබැයි වෙලාවට එළියට ගත්තේ නැහැ. දැන් රොටිය කර වෙලා. දැන් එළියට ගත්තට රසක් නැහැ යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya