අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා පැතුම් මල්ඵල ගන්වමින් විපක්ෂයේ පැතුම් සුන් කළ අය-වැයක් Featured

    ඔක්තෝබර් 25, 2014

    මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද එජනිස රජයේ 10වැනි අය-වැය ලේඛනය මේ රටේ සෑම පැතිකඩකම ජනතාවගේ බලාපොරොත්තු මල් පල ගන්වන ලද, එහෙත් විපක්ෂයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් කරන ලද අය වැයක් යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

     

    විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමුවැනි වෙන් කළ දිනයේ විවාදයට එක්වෙමින් සභානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය.


    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අප රජයේ 10වැනි අය-වැය ලේඛනය මේ රටේ සෑම පැතිකඩකම ජනතාවගේ බලාපොරොත්තු මල් පල ගන්වන ලද, එහෙත් විපක්ෂයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් කරන ලද අය වැයක් බව මම පළමුවෙන්ම ප්‍රකාශ කරන්න කැමැතියි. සංවර්ධනය පමණක් නො ව, ජනතාවගේ අනිකුත් විවිධ අවශ්‍යතා තෝරා බේරා ගනිමින්, එකී අවශ්‍යතා සපුරාලීම සඳහා ඉතා ම දැවැන්ත ප්‍රයත්නයක් දරලා, ඉතා ම ජනතාවාදී අය-වැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ව අතිගරු ජනාධිපතිතුමාට පළමුවෙන්ම අපේ ප්‍රණාමය පුද කළ යුතුයි.


    2005 වසරේදී ජනාධිපති පදවියට පත් වූ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට "මහින්ද චින්තනය" හා "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව යමින් මේ රටේ මහා සංවර්ධනයක් කරන්න පුළුවන් වුණු බව. එතුමාට හා රටට මුහුණ දීමට තිබූ අභියෝග එතුමා නිවැරදි ව තේරුම් ගත්තා; එතුමාගේ රජය නිවැරදිව තේරුම් ගත්තා. එතුමා ඒ වෙනුවෙන් ප්‍රමුඛතාවන් නිසි ලෙස සකස් කර ගත්තා. ඒ අනුව අපට පළමුවෙන්ම කරන්න තිබුණේ තිස් වසරක යුද්ධය නිමා කරලා ත්‍රස්තවාදය ශ්‍රී ලංකා ධරණි තලය තුළින් අතුගා දැමීමයි. ඒ කාර්යය අපේ අතිගරු ජනාධිපතිතුමාත්, අපේ රජයත් නොපිරිහෙළා ඉෂ්ට කළා. ඊළඟට මතු වුණු අභියෝගය තමයි, ත්‍රස්තවාදයෙන් සුනු විසුනු වී, සීසීකඩ ගිය අපේ රට ඒකීය රාජ්‍යයක් බවට පත් කරලා, දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීම. දේශපාලන ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කාර්යයත් අපේ ජනාධිපතිතුමාත්, අපේ රජයත් නොපිරිහෙළා ඉටු කළා. දේශපාලන ස්ථාවරභාවයක් ඇති රජයක් තුළින් ආර්ථික සංවර්ධනය සඳහා මේ රටේ ජනතාවට අප මං පෙත් හෙළි පෙහෙළි කළා. කවදාවත් නොවූ විරූ තරම් යටිතල පහසුකම් සංවර්ධනයක් කරලා, මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන ගමන අප ඇරඹුවා. ගුවන් තොටුපළවල්, වරායවල්, මහා මාර්ග, ජල සම්පාදන යෝජනා ක්‍රම, දැවැන්ත වාරි යෝජනා ක්‍රම ඇතුළු ජන ජීවිතයට බලපාන යටිතල පහසුකම් දැවැන්ත ලෙස සංවර්ධනය කළා. අප ඒවා කළේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. අද විදේශිකයෙක් මේ රටට ආවත්, විදේශයක ජීවත් වන ලාංකිකයෙක් මේ රටට ආවත්, අප ලංකාවේ කොයි තැනකට ගියත්, ඒ සෑම ප්‍රදේශයකම සිදු වී ඇති මේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කැපිලා පෙනෙනවා. මේ සියල්ල අපට කර ගන්න පුළුවන් වුණේ දේශපාලන ස්ථාවරභාවය මෙන්ම නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසායි; නිවැරදි ක්‍රියා මාර්ගයන්ට අප අවතීර්ණ වුණු නිසායි.  ගෝලීයකරණය වූ ලෝකය තුළ තිබෙන විවිධ ආර්ථික බලපෑම් පිළිබඳව මනාව අධ්‍යයනය කරමින්, නිසි මාර්ගයේ ගිහින් තමයි අපේ ආර්ථිකය අප ශක්තිමත් කළේ. අද ආසියානුකරයේ සෑම රටක්ම, ලෝකයේ සෑම රටක්ම ලංකාව සිය ආර්ථිකය ශක්තිමත් කළ ආකාරය පිළිබඳ කථා කරන්නේ ඉතාම ආඩම්බරයෙන්. අප කථා කරන්නෙත් ඉතාම ආඩම්බරයෙන්.  මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, විපක්ෂය සමහර විට මේවා බොහොම සමච්චලයට භාජන කළාට, ශක්තිමත් ආර්ථිකයක් අප දායාද කළා.


    අප මේ ආර්ථිකය වි‍ශ්ලේෂණය කරන්න ඕනෑ ආර්ථික විද්‍යා නිර්ණායක තුළිනුයි.


    ආර්ථික විද්‍යා නිර්ණායකයන් තුළින් මේ අය වැය ලේඛනය සහ පසු ගිය අවුරුදු 10 තුළ ඇති වුණු ආර්ථික සංවර්ධනය දිහා බලන විට, අපේ ආර්ථිකයේ ධනාත්මක දර්ශකයන් පෙන්නුම් කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට 7 - 8 අතරේ පවත්වා ගෙන යාමට අපේ රජයට පුළුවන් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ජාතික රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස  සියයට 105ක් වුණා. ක්‍රමක්‍රමයෙන් අපි එය අඩු කරලා, දැන් එය සියයට 65 දක්වා පහළට ගෙනැත් තිබෙනවා. සැමවිටම ණය බර සංසන්දනය කරමින්, අපේ ගරු රවි කරුණානායක මහත්මයා සම්පූර්ණ ණය ප්‍රමාණය ඉන්න ජනගහනයෙන් බෙදලා, රුපියල් හාර ලක්ෂයක් කියලා කියනවා. ඒ නිර්ණායකය ලෝකයේ කිසිම ආර්ථික විද්‍යාඥයෙක් පිළිගන්නා නිර්ණායකයක් නොවෙයි. ආර්ථික විද්‍යාව අනුව ණය බර තක්සේරු කරන්නේ දළ ජාතික නිෂ්පාදනයට සමානුපාතිකවයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි. ඒ නිසා වැරදි නිර්ණායකයන් තුළින් කරන මේ විවේචන අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා.


    අද අපට ලෝකයේ මූල්‍ය ආයතනවලින් විශාල ගෞරවයක් ලබා දීලා තිබෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, බලන්න අග්නිදිග ආසියාවේදී අපි අද තරග කරන්නේ චීනයත් එක්ක. චීනයේ ආර්ථික සංවර්ධනය සියයට 8.7යි. ඉන්දුනීසියාවේ එය සියයට 5.8යි. අපේ අල්ලපු රට, ඉන්දියාවේ එය සියයට 4.9යි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපයේ අද ආර්ථික සංවර්ධන වේගය සියයට 2 කටත් අඩුවෙන් තිබෙන්නේ. නමුත් අද අපේ ආර්ථික සංවර්ධනය සියයට 7 - 8 අතර තිබෙනවා. යුද්ධයෙන් විනාශ වූ රටකට, ත්‍රස්තවාදය විසින් විනාශ කරන ලද රටකට, මෙවැනි කෙටි කාලයක් තුළදී මෙවැනි දැවැන්ත ආර්ථික සංවර්ධනයක් හා ගමනක් යාමට පුළුවන් වුණේ අපේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හා දර්ශනය නිසායි. ඒ වාගේම අපේ නිසි මූල්‍ය කළමනාකරණය නිසායි. එපමණක් නොවෙයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි. අපි ලබන වර්ෂයේදී අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.5ක පවත්වාගෙන යනවා. 2005 සිට 2008 දක්වා එය සියයට 7ක් වුණා. 2009දී එය සියයට 9.9ක් වුණා. 2010දී එය සියයට 8ක් වුණා. 2011 එය සියයට 6.5ක් වුණා. 2012දී එය සියයට 6.5ක් වුණා. 2013දී එය සියයට 5.9ක් වුණා. මේ විධියට අපි ඉතා වැදගත් නිර්ණායකයක් වන අය වැය හිඟය, -දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය- ඉතාම පහළ මට්ටමකට ගෙනැත් තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ, අපේ ආර්ථිකයේ තිබෙන ශක්තිමත් භාවය, අපේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ නිවැරදි ගමන් මඟ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඒ නිසා තමයි අපිට මෙවැනි විශාල සහන සංඛ්‍යාවක් දීමට පුළුවන් ආර්ථික ශක්තියක් ඇති වුණේ. මේ කියන නිවැරදි ආර්ථික කළමණාකරණය තුළින්. ඒ වාගේම අපේ අය වැය හිඟය සියයට 4.5ක මට්ටමක පවත්වාගෙන යාමට ලැබීම අපි ලබා ගත්ත ආර්ථික ප්‍රගතියක්. ඒ නිසා අපට මේ රටේ ජනතාවගේ ජන ජීවිතය අනිවාර්යයෙන්ම වර්ණවත් කිරීමට පුළුවන්කම ලැබිලා තිබෙනවා.


    ත්‍රස්තවාදය අවසන් කළාට පසුව අපි මේ රටේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති කළා. ඒ වුණත් අපට තිබුණා අභියෝගයක්. ඒ අභියෝගය තමයි, -ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් නොවෙයි- ජනතාවගේ ජන ජීවිතයට බලපෑ කාරණා, රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය සේවයට බලපෑ කාරණා, තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට අවශ්‍ය කාරණා සහ මේ රටේ දුක් විඳින සහ පහසුකම් අඩු ජනතාවට ලැබිය යුතු සේවාවන් කියන මේ කාර්යන් සම්පූර්ණ කිරීමේ කාර්ය භාරය. ඒ නිසා, මූලික නිර්ණායකයන් සහ මූලික කරුණු ටික සපුරලා තිබෙන නිසා දැන් අපි වැඩි බරක් දාන්නේ, වැඩි අවධානයක් යොමු කරන්නේ මේ කියන ජනතාවගේ ජන ජීවිතයට බලපාන කරුණු පිළිබඳව අපේ නෙත් සිත් යොමු කරලා, ඒවා විසඳීමටයි.


    අපි මෙවැනි අය වැය ලේඛනයක් ඉදිරිපත් කර සහන දෙන කොට විපක්ෂය කියනවා, මේක අල්ලස් ලබා දීමක් කියලා. රජයකට අයිතියක් නැද්ද, අය වැය ලේඛනයකදී තමන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන් අනුව ජනතාවට යම් සහන ලබා දෙන්න? ඒක අල්ලසක් ද? අල්ලසක් කියන්නේ එයින් පරිබාහිරව ගිහිල්ලා, මැතිවරණයකදී කෙනෙකුට යම් දෙයක් දෙනවා නම් තමයි. ඒකයි මම කියා සිටියේ.


    අපි සහන දුන්න හුඟක් දේවල්, විපක්ෂයෙන් පමණක් නොවෙයි, ආණ්ඩු පක්ෂයේම අපේ වෘත්තීය සමිති විසින්, අපේ මන්ත්‍රීතුමන්ලා විසින් මතු කරන ලද කරුණුයි. දැන් බලන්න, විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නය. කොච්චර picketing කළා ද? රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය; සමෘද්ධි ප්‍රශ්නය. මේවා ඔක්කෝටම දීපු සහන, අපි මැතිවරණයක් නිසා දීපු දේවල් නොවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ අංශයන්ගෙන් මේ රටේ අනිවාර්යයෙන්ම ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න හැටියට හඳුනා ගෙන, මේ අය වැය සකස් කිරීමේ සාකච්ඡාවන්හිදී, අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට අරගෙන තමයි, මේ අය වැය ලේඛනයේ දී ඒ සහන ලබා දීලා තිබෙන්නේ. විපක්ෂය කවදාවත් හිතුවේ නැහැ, අපි මේ සහන ලබා දෙයි කියලා. ඔවුන් අපි අමාරුවේ දමන්න කියලා හිතා ගෙන විරෝධතා කළා; picketing කළා; ජනතාව ඒකරාශී කළා. ඔවුන් හිතුවා, මේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ; එම නිසා ජනතාවගේ ප්‍රසාදය picketing කරලා, විරෝධතා ප්‍රකාශ කරලා, කෑ කෝ ගහලා ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අද එය පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. අද විපක්ෂයටම ඒ picketing ව්‍යාපාර, ඒ විරෝධතා වැඩ පිළිවෙළවල් පාරා වළල්ලක් බවට පත් වෙලා, දෛවයේ සරදමට අද විපක්ෂය ලක් වෙලා තිබෙනවා.


    අපි සතුටු වෙනවා, අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මේ කියන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ගැන. අපි හැම වෙලාවේම ඉල්ලා සිටියේ, යටිතල පහසුකම් දියුණු කරනවා වාගේම, ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න පිළිබඳව, ඔවුන්ගේ ජීවන ගැටලු පිළිබඳව වඩාත් අවධාරණයකින් ‍අවධානය යොමු කරන්න කියන එකයි. ආණ්ඩු පක්ෂයේ කවුරුත් ඒ ගැන කථා කළා. එම නිසා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා, මේ කාරණය සැලකිල්ලට අරගෙන, අද මෙවැනි ජනතාවාදී අය වැයක් අපට ඇති කිරීම ගැන.


    විශේෂයෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා 3 වන ලෝකයේ ර‍ටකට, මැදි ආදායම් රටකට අත්‍යවශ්‍ය දෙයක් තමයි, - food security - ආහාර සුරක්ෂිතතාව. රටකට අවශ්‍ය කෑම බීම, පුළුවන්තරම් ඒ රටේම නිෂ්පාදනය කර ගැනීමේ අවශ්‍යතාව අපි සපුරාලන්නට ඕනෑ. සියලු දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. අපි වී අතින් ස්වයංපෝෂිතයි; සහල් අතින් ස්වයංපෝෂිතයි. අර්තාපල් ගත්තාම, සියයට 60කින් පමණ ස්වයංපෝෂිතයි. බී ලූනු ගත්තාම, ඒත් එහෙමයි. අපි නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තුළින්, පොහොර සහනාධාරය තුළින් අද ගොවියාට කෘෂි කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් බවට පත් කර තිබෙනවා. නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය තුළින් මේ රටේ අස්වැන්න හදන කොට, අස්වැන්න ගලවන කොට පිට රටින් ගෙන ඒම අපි තහනම් කරනවා. මේවා ඉබේම, නිකම්ම පහත් වුණේ නැහැ. ඒ තුළින් තමයි, දේශීය නිෂ්පාදනය වැඩි වුණේ; දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රමාණය ඉහළ ගියේ. එම නිසා ඒ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය අපි තවදුරටත් ගෙන ගියා.


    එපමණක් නොවෙයි, ආහාර සුරක්ෂිතතාව සඳහා රටකට ජලය අවශ්‍යයි. ජලය තමයි ධනය බවට පත් වෙන්නේ. වාරිමාර්ග ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 39කට වැඩි ප්‍රමාණයක් ගිය අවුරුද්දේ ලබා දුන්නා. මේ අවුරුද්දේ ඊටත් වැඩි ප්‍රමාණයක් ලබා දීලා, අපි වාරි ජල පිපාසය සංසිඳවීම සඳහා දැවැන්ත ව්‍යාපාර රාශියක් පටන් ගත්තා.
     

    මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි (ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය), ඔබතුමිය ජීවත් වන ප්‍රදේශයේ රඹකැන් ඔය ව්‍යාපෘතිය අපි හැදුවා. ඔබතුමිය ඒක දන්නවා. දැන් ඒ වියලි ප්‍රදේශය ඉතාම සශ්‍රික, තෙතබරිත ප්‍රදේශයක් බවට පත් වෙලා ජනතාව ඉතාම සතුටින් ඉන්නවා. ඒ වාගේමයි දැදුරු ඔය ව්‍යාපාරය දැන් හදලා අවසානයි. ‍ හෙට අනිද්දා අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අතින් විවෘත කරනවා.  මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති ආරම්භ කරලා අවසානයි. තව අවුරුදු දෙකක් යන කොට මොරගහකන්ද සහ කළු ගඟ ව්‍යාපාරය හැදුවාට පස්සේ අපට අතිරික්ත ජලය විශාල ප්‍රමාණයක් අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවලට යවන්න පුළුවන්.  උතුරටත් යවන්න පුළුවන්. අම්පාරේ කළුගල් ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙන බව ඔබතුමිය දන්නවා ඇති. අපි යාන් ඔය ව්‍යාපෘතිය ආරම්භ කළා. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළා. දැන් අපි  මහවැලි ග‍ඟේ පහළට ගලා ගෙන යන වතුර කාලිංග නුවර සිට ඉහළට පොම්ප කරලා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ උස්සාන ජල ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. එතකොට ඕනෑම වියලි සමයකදී වැඩි ජල ධාරිතාවක් ඉහළ පැත්තේ තිබෙන මේ වැව්වලට යවන්න පුළුවන්. ඒ පිළිබඳ සියලු කටයුතු කරලා අවසානයි. ඒ වාගේම ගිං, නිල්වලා ගංගා දෙක හරවලා, විශේෂයෙන්ම ගංවතුර පාලනය කරලා  ජල ධාරිතාවක් ගෙන යාමට කටයුතු කරනවා. ආහාර සුරක්ෂිතාව සහ පානීය අවශ්‍යතා සඳහා  ජලය සැපයීමේ වැඩ පිළිවෙළ මහින්ද චින්තනය යටතේ අපි ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ වාගේම වයඹට සහ තෙත් කලාපය‍‍ට ජලය ලබා දෙනවා පමණක් නොවෙයි, මම බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 100ක් හදලා වැව් බැඳි රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා. මේ ආකාරයට සිංහල රජ කාලයේවත් කළේ නැහැ.


    එපමණක් නොවෙයි, කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට වී කිලෝවක් සඳහා රුපියල් 40ක සහතික මිලක් දීලා තිබෙනවා.  තේ සඳහා රුපියල් 2500ක පොහොර සහනාධාරය ලැබෙනවා. රබර් සඳහා රුපියල් 300ක සහතික මිලක්, උක් සඳහා රුපියල් 4500ක සහතික මිලක් ලබා දී තිබෙනවා. මම විපක්ෂයෙන් අහනවා මේවා දෙන්න එපාද, මේවාට විරුද්ධද කියලා. බිත්තර වී නොමිලයේ ලබා දෙනවා. ඒක දෙන්න එපාද? කෘෂිකර්මාන්තයට අදාළ භාණ්ඩවල මිල අඩු කර තිබෙනවා. කුඩා තේවතු හිමියන්ට තේ නැවත වගා කිරීම සඳහා දෙනු ලබන සහනාධාරය හෙක්ටෙයාරයකට රුපියල් 8,75,000 සිට රුපියල් 10,00,000 දක්වා වැඩි කර තිබෙනවා. නව වගාව සඳහා සහනාධාරය හෙක්ටෙයාරයකට රුපියල් 6,25,000 සිට 7,50,000 දක්වා වැඩි කර තිබෙනවා.


    එපමණක් නොවෙයි, අපේ වේලි ආරක්ෂණ ව්‍යාපෘතීන් තුළින් වියපත් වූ  වාරි ව්‍යාපෘතීන් සැකසීම සඳහා රුපියල් මිලියන 8කට වැඩි ප්‍රමාණයක් මේ වන විට  වියදම් කර තිබෙනවා. මෙන්න මේ ආකාරයට ආහාර සුරක්ෂිතතාව සඳහා අපි කටයුතු කළා.


    ඊළඟට මම කැමැතියි, රාජ්‍ය සේවය පිළිබඳව යමක් කථා කරන්නට. වැටුප් කොමිසමේ යෝජනා අනුව රජයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කළා. ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කළා. ඒ අනුව රජයේ සේවකයකුගේ අවම වැටුප් ප්‍රමා‍ණය රුපියල් 25,000 දක්වා ඉහළ යනවා. වෘත්තීයමය දීමනාවක් සම්බන්ධයෙන් අපේ ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයන් අතර විශාල ප්‍රශ්නයක් තිබුණා. විශේෂයෙන්ම ඒක උගත් රාජ්‍ය සේවකයන් අතර තිබුණු ප්‍රශ්නයක්.  එයට මේ අය වැයෙන් විසඳුමක් ලබා දුන්නා.  ඒ වෘත්තිකයන් වෙනුවෙන් රුපියල් 15,000ක දීමනාවක්  අතිගරු ජනාධිපතිතුමා මේ අය වැයෙන් ලබා දී තිබෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් රාජ්‍ය සේවය තුළ රඳවා තබා ගෙන රාජ්‍ය සේවයෙන් වඩාත් ඵලදායී සේවාවක් කරන්න පුළුවන්.


    එපමණක් නොවෙයි අපේ ආයතනවල සිටින කොන්ත්‍රාත් පදනම සහ තාවකාලික පදනම මත දවස් 180ට වැඩි සේවා කාලයක් ඇති සියලු දෙනාම ස්ථිර කරන්න කියලා  සේවකයින් සහ වෘත්තීය සමිතිවලින් විශාල ඉල්ලීමක් තිබුණා. අපි ඒකට ඇහුම්කන් දීලා ඒ සඳහා වැඩ පිළිවෙළක් මේ අය වැය ලේඛනයේ සඳහන් කර තිබෙනවා. ඉතින් මේවා වැරදිද? මේවා හොඳ නැද්ද? මේවා ජනතා හිතවාදී හා වැඩ කරන පන්තිය වෙනුවෙන් අපේ ආණ්ඩුවෙන් කරන ලද දේවල් නොවෙයිද? ඒ නිසා අපි ආඩම්බර වෙනවා මේ අය වැය ලේඛනය ගැන. ඒ විතරක් නොවෙයි,. 2006  රාජ්‍ය සේවකයන්ගේ පඩිය අනුව විශ්‍රාම වැටුප ගැළපුම් කරන්න කියලා විශ්‍රාමිකයින් අවුරුදු ගණනාවක් තිස්සේ නොයෙකුත් ඉල්ලීම් ඉල්ලුවා.


    විෂමතාව අඩු කරන්න කියලා විපක්ෂයේ අයත් ඉල්ලුවා නේ.  විපක්ෂයේ අයත් ඒ slogan එක අරන් ගියා නේ.  අපි ඒක නිවැරදි කළා.  දැන් ඉතින් මොකද කියන්නේ දැන් ප්‍රශ්නයක් නැහැ. Picketing  කරන්න බැහැ. ජනතාව ඒකරාශි කර ගන්න බැහැ.  ජනතාව  ඉන්නේ අපේ පැත්තේ.   විශ්‍රාමිකයන් වෙනුවෙන් ඒ සහනය විතරක් නොවෙයි, අග්‍රහාර රක්ෂණ ඇතුළු  විශාල වැඩ පිළිවෙළක් කරලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා.  එපමණක් නොවෙයි  මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, විශ්‍රාමිකයන් වෙනුවෙන් ඇප රහිත රුපියල් 50000 ක ණය මුදලක් ලබා දෙනවා. ඒවාගේම අපි පෞද්ගලික අංශය අමතක කළේත් නැහැ.  අවම වැටුප රුපියල් 10000 බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.  අර්ථ සාධක දායකත්වය සියයට 14 දක්වා වැඩි කරනවා.  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේත්  තිබුණු මේ වැටුප් විෂමතාවයන් ඉවත් කරලා, අවම වැටුප රුපියල් 16500ක් කරලා තිබෙනවා.  එපමණක් නොවෙයි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවයේ නියුතු නිලධාරින්ගේ පවුල්වල ඔවුන්ට ලැබෙන තුන්වෙනි දරුවා වෙනුවෙන් රුපියල් 100000 ක දීමනාවක් ගෙවනවා.  ඒවාගේම අපේ රට රැක ගත් රණවිරුවන්ගේ  දෙමාපියන්ට රණවිරු මාපිය උපහාර වැඩ සටහන යටතේ ලබාදුන් රුපියල් 750ක දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කරලා තිබෙනවා.  ඒකටත් විරුද්ධද?  ඒවාගේම දේශීය වෛද්‍යවරුන් සඳහා රුපියල් 5000ක වෛද්‍ය දීමනාවක් ලබාදීමේ යෝජනාව ඉතාම ප්‍රශංසනීයයි.  සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බල වේගය තුළින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වුණේ.  ඒ නිසා දේශීය වෛද්‍යවරයා අපිට ඉතාමත් වැදගත්.  අපි ගරු කරනවා. මේ අයවැය ලේඛනයෙන් දේශීය වෛද්‍යවරයාගේ සේවයත්  ඉහළින්  අගය කරලා තිබෙනවා . එපමණක් නොවෙයි, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, දේශපාලනඥයන් වශයෙන් අපි හැමෝටම තිබෙන ප්‍රශ්නය තමයි   රැකියා සොයා ගෙන අපි ළඟට එන  විශ්වවිද්‍යාලවලට යන්න බැරි වුණු අයට රැකියා සැපයීම. විශ්වවිද්‍යාලයට ගිය 60000කට රැකියා ලබා දුන්නා.  දැන් බෙහෙතකට ගන්න උපාධිධාරියෙක් නැහැ.  නමුත් O/L ,  A/L pass කරපු අය ඇවිල්ලා රස්සාවල් ඉල්ලනවා.  ඒ ප්‍රශ්නය මේ අය වැයෙන් විසඳලා තිබෙනවා.  පළමුවෙන්ම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි වුණු ඒ උසස් පෙළ පාස් වුණු දරුවන් 50000 ක් කළමනාකරණ හා ගණකාධිකරණ සහායකයින් වශයෙන් මේ වර්ෂයේ  බඳවා ගන්නවා.  ඒ අනුව දරුවන් 50000කගේ තිබුණු විශාල අසහනය නැති කරනවා.  ඒවාගේම ප්‍රාදේශීය සභා සඳහා සහාය‍ සේවකයන් 15000 ක් බඳවා ගන්නවා.  උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් තවත් දරුවන් 50000කට මසකට රුපියල් 3000 බැගින් ලබා දීලා තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙනවා.  එපමණක් නොවෙයි රුපියල් 9500 ක දීමනාවක් දෙමින් ගුරු හිඟය අවසන් කිරීම සඳහා ගුරු සහායකයින් 50000ක් බඳවා ගන්නවා[බාධා කිරීම්] ඒ අයට අපි අවශ්‍ය පුහුණුව ලබා දීලා අවුරුදු තුන හතරක දී හොඳ ගුරුවරුන් බවට පත් කරලා මේ රටේ අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමකට ගෙන ඒමට  කටයුතු කරනවා.  ඊට අමතරව තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් වන අයට රුපියල් 3000ක ආධාර මුදලක් ලබා දෙනවා.  ඒ අනුව තවත් දරුවන් 50000ක් ගන්නවා.  ඒ අනුව තරුණ තරුණියන් ලක්ෂ 2 කට රැකියා සපයන අයවැය ලේඛනයක්.   මේවා විපක්ෂයට දරා ගන්නට බැරි වෙයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.  රජයේ දේශපාලනඥයන් වශයෙන් අපිට ජනතාව ඉදිරියට කොන්ද කෙළින් තියාගෙන ගිහිල්ලා මෙවැනි අය වැය ලේඛනයක තිබෙන ධනාත්මක ස්වරූපය පෙන්වීමට  අවස්ථාවක් ලබාදීම ගැන අතිගරු ජනාධිපතිතුමාට අපි  ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා.  එපමණක් නොවෙයි   අපේ පහේ ශිෂ්‍යත්ව 25000ක වැඩ පිළිවෙළ යටතේ  එක් ශිෂ්‍යත්ව ලාභියෙකුට ලබාදුන් රුපියල් 500 දැන් අපි රුපියල් 1500 දක්වා වැඩිකර ලබා දීලා ඒ අඩු ආදායම්ලාභී දරුවන් වඩාත් ශක්තිමත් කරනවා.


    එවැනි ජනතාවාදී අය වැය ලේඛනයකුයි අපි මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ.


    අපේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා බදුල්ලට පැමිණි අවස්ථාවේදී තැපැල් ක්ෂේත්‍රයේ වැඩ කරන -ලියුම් බෙදන- අපේ සහෝදරයන් කණ්ඩායමක් මට කිව්වා, එතුමාව මුණ ගස්වන්න කියලා. එවිට මාත් සමඟ ගිහින් එතුමාව මුණ ගැහිලා කිව්වා, ලියුම් බෙදන අයටත් motorcycles ලබා දෙන්න කියලා. අද අපේ රජය මේ අය වැය ලේඛනය යටතේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදා හරින්නන් සඳහාත් සහනදායි ක්‍රමය යටතේ motorcycles ලබා දීමට කටයුතු කර තිබෙනවා. දෙන්න ඕනෑ දේවල් දෙන ආණ්ඩුවක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුව.


    මේ රටේ පොඩි පොඩි පෙරපාසල් පවත්වා ‍ගෙන ගිය ‍පෙරපාසල් පාලිකාවන් හිටියා. එම ගුරුවරුන්ගේ වියදමට එකතු කරලා සුළු ගණනකුයි දීලා තිබුණේ. ඒ නිසා විශාල ඉල්ලීමක් තිබුණා, ඒ අය වෙනුවෙන් යමක් කරන්න කියලා. අපි පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් මසකට රුපියල් 2,500ක දීමනාවක් ලබා දීමට දැන් එකඟ වෙලා තිබෙනවා. ඒ වාගේම පෙරපාසල්වලට රුපියල් 10,000ක ණයක් ලබා දීමටත් අප එකඟ වෙලා තිබෙනවා. මේ විධියට තමයි අපි පෙරපාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන්නේ.


    එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලාන්තරයක් තිස්සේ ගැටලුවක් තිබුණා. එහි නව  ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපි පිළිගෙන තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහාත් එවැනිම ව්‍යවස්ථාවක් ලබා දීමට කටයුතු කරලා රාජ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන ගැටලු දෙකක් අපි විසඳලා තිබෙනවා. එපමණක් නොවෙයි. මේ රටේ කිරි ගොවීන්ට ශක්තියක් වන අයුරින් කිරි නිෂ්පාදනය කිරීම සඳහා දියර කිරි ලීටරයකට ගෙවන මුදල රුපියල් 60 දක්වා වැඩි කරලා තිබෙනවා. අපේ දැන් කිරි නිෂ්පාදනය අතින් ජාතික අවශ්‍යතාවෙන් සියයට 50 මට්ටමට ඇවිල්ලා තිබෙනවා. අපි විශ්වාස කරනවා දියර කිරිවලට ගෙවන මිල වැඩි කිරීමත් සමඟම කිරි නිෂ්පාදනය මේ රටේ ඉහළ මට්ටමකට ගෙනැල්ලා, විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්නටත් අපට පුළුවන් වෙයි කියලා.

     

    අද මහින්දෝදය විද්‍යාගාර සහිතව පාසල් සංවර්ධනය කරන්න කටයුතු කිරීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් සිදු වෙනවා. අපි පිරිවෙන්වලට දෙන ආධාරය  දෙගුණ කර තිබෙනවා. ඒ වාගේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කර තිබෙනවා. රට ‍විරුවන් සවිබල ගැන්වීමටත් විශේෂ යෝජනාවක් ගෙනැල්ලා තිබෙනවා. ඔවුන් පිට රටදී උපයා ගෙන එන මුදල්වලින් මෝටර් රථ ලබා ගැනීමේදී සහනයක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. කාන්තා ව්‍යවසායන් සඳහා ඇප රහිතව ණය මුදල් ලබා දීමටත් අපි කටයුතු කරනවා. මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කරන්න කියලා කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටියා. මෙවර අය වැයෙන් ශිෂ්‍යත්ව ආධාර මුදල රුපියල් 4,000 දක්වා වැඩි කර තිබෙනවා.


    සාමාන්‍ය ජනතාවට ඉඩම් පැවරීමේදී අපට විශාල ගැටලුවක් තිබුණා. විශේෂයෙන්ම මහවැලි ප්‍රදේශවලත් ඒ ගැටලුව විශාල වශයෙන් තිබුණා. ඒ තමයි කුලී බදු ප්‍රශ්නය. සමහර වෙලාවට එන තක්සේරුව ඉතාමත් වැඩියි. ඒ තක්සේරුව සියයට 4ක් වුණාම, බොහෝ අයට කුඩා බිම් කට්ටි වෙනුවෙන් ඒ මුදල ගෙවීමේ අසීරු තත්ත්වයක් තිබුණා.
     

    මේ තත්ත්වය අපි තේරුම් ගනිමින්  විශේෂයෙන්ම  කුලී බදු ලක්ෂ තුනට අඩු නම් ඒ valuation එක බද්දෙන් නිදහස් කර තිබෙනවා.  සියයට 4ක උපරිම බද්ද අදාළ වන්නේ වසරක ආදායම රුපියල් ලක්ෂ 6ක් ඉක්මවන අයට පමණයි.  ඒ වාගේම රවි කරුණානායක මන්ත්‍රීතුමා ඇහුවා, වතුකරයේ ජනතාව වෙනුවෙන් මොනවාද කරලා තිබෙන්නේ කියලා.  වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 50,000ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා, ඒක දිගටම කරගෙන යනවා.  ඔවුන්ගේ සනීපාරක්ෂක හා වැසිකිළි පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.


    අපේ ප්‍රාදේශීය සභාවල් බොහෝමයකට ඔවුන්ගේ වැඩ කටයුතු නඩත්තු කර ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල අවශ්‍ය බදු  ප්‍රමාණයක් එකතු වන්නේ නැහැ‍. අවශ්‍ය මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.  නමුත් අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පසුව ප්‍රාදේශීය සභා ශක්තිමත් කළා.  “පුර නැඟුම“ යටතේ අපේ අතාවුල්ලා ඇමතිතුමා විශේෂයෙන්ම ගොඩනැඟිලි රාශියක් හදාගෙන යනවා. ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය tractors, gully bowsers, වැනි යන්ත්‍ර සූත්‍ර අපි ලබා දෙනවා.  අපි ලබා දුන් ඒ ලක්ෂ 10ක  grant  එක - බඩු මූට්ටු දෙනවා හැරෙන්නට -  මෙවර ලක්ෂ 20ක් බවට පරිවර්තනය කරලා ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්; ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ නිසා මේ අය වැය ලේඛනය රටේ සෑම ක්ෂේත්‍රයක්ම වැළඳ ගන්නා, සෑම ක්ෂේත්‍රයකම තිබෙන දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන අය වැය ලේඛනයක් වෙනවා.  පළාත් සභා ආයතනවලට සහන සේවකයන් 15,000ක් බඳවා ගැනීමට මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා ප්‍රාදේශීය සභාවල තිබෙන ගැටලු රාශියක් විසඳලා, ප්‍රාදේශීය සභා පරිපාලනය ශක්තිමත් කරන්න අපට පුළුවන්.


    රණවිරුවන්ගේ දෙමවුපියන්ට ලබා දෙන දීමනාව රුපියල් 1,000ක් දක්වා වැඩි කර තිබෙනවා.  එපමණක් නොවෙයි,  හුඟාක් පැමිණිලි තිබුණා.  බොහෝ දෙනෙක් කිව්වා, මේ ආණ්ඩුව සලකන්නේ පොලිසියේ ඉහළ නිලධාරින්ට විතරයි, පොලිස් පොඩ්ඩන්ට මුකුත් වැඩක් වෙන්නේ නැහැ යි කියලා. පොලිස් පොඩ්ඩන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලන්නේ නැහැ කියලා කිව්වා. අපේ ජනාධිපතිතුමා පොලිස් පොඩ්ඩන් අමතක කළේ නැහැ. එතුමා පොලිසියේ කොස්තාපල්වරුන් හා සැරයන්වරුන්ට සහනදායී මිලකට - ලබා ගන්නට කැමැති හැමෝටම  -  යතුරු පැදී ලබා ගන්නට කටයුතු සලස්වා තිබෙනවා. එපමණක් නොවෙයි, අපේ වැඩිහිටි සමාජය -වයෝවෘද්ධ අය - ඒ අයගේ ඉතිරිකිරීම් බැංකුවල තැන්පත් කර තිබුණා.   අපේ උද්ධමනය වැඩි වූ අවස්ථාවන්වලදී පොලී අනුපාතය වැඩි ප්‍රමාණයක් ලැබුණා. නමුත් රටේ මුදල් තත්ත්වය ශක්තිමත් වෙන්න, ශක්තිමත් වෙන්න, වෙනත් දියුණු රටවල් වාගේම අපේ රටෙත් පොලී අනුපාතය අඩු වුණා.  ඒක කාටවත් නවත්වන්නට පුළුවන් දෙයක් නොවෙයි. නමුත් අපේ ඒ වයෝවෘද්ධ තැන්පත්කරුවන් සඳහා සියයට 12ක පොලී මුදලක් ගෙවීමට මේ අය වැය ලේඛනයෙන් ප්‍රතිපාදන සලසා තිබෙනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි.  ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය දෙසත් අපි අනිවාර්යෙන්ම සානුකම්පිතව බලලා තිබෙනවා. ඒ වාගේම සියලු රජයේ සේවකයින්ට වාරික 10කින් පොලී රහිතව ගෙවන්නට පුළුවන් රුපියල් 10,000ක සීමාව තුළ ණයක් ලබා ගැනීමේ අවස්ථාව අප විසින් සලසා දී තිබෙනවා. ඒ නිසා අපේ රජය මඟින් මේ රටේ දේශපාලන ස්ථාවර භාවය ඇති කර තිබෙනවා වාගේම,  මේ රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කළා වාගේම, මේ රටේ ජනතාවගේ ජන ජීවිතය වර්ණවත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා.  ඒ වාගේම රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පසුබිමත් අප විසින් සකස් කර දී තිබෙනවා.


    එපමණක් නොවෙයි,  අද අපේ ඉතිරි කිරීමේ ප්‍රතිශතය සියයට 20ක් බවට පත් වෙලා තිබෙනවා.  අපේ සමස්ත ආයෝජන සියයට 30ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තුළින් විශාල වශයෙන් අපේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් බව පෙන්නුම් කරනවා.


    එපමණක් නොවෙයි, අද අපේ රටේ ජනතාවගේ පරිභෝජන රටාව දිහා බැලුවොත් තුන්වන ලෝකයේ රටක් -දියුණු වෙමින් පවතින රටක්- වශයෙන් තිබුණු අපේ රට දැන් මැද පන්තියට තල්ලු වෙලා මධ්‍යම පාන්තික රටක් බවට පත්වීගෙන යනවා. එතකොට අපේ අවශ්‍යතාවන් වැඩියි. ඒ නිසා බොහෝ විට ආදායම හා වියදම අතර පරතරයක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් අද තේ ගොවියා ගත්තොත්, මා නියෝජනය කරන අපේ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් කුඩා තේ වතු හිමියන් ඉන්නවා. එම තේ වතු හිමියන්ගේ තේ සඳහා ඉතා හොඳ මිලක් ලැබෙනවා. ඔවුන්ගේ තේ වගාව වෙනුවෙන් හොඳ සහනාධාරයක් ලැබෙනවා. කුඩා තේ වතු හිමියන් ඉතාම ඉහළින් ශක්තිමත් වෙලා තිබෙනවා.


    අද අපේ ගොවීන් කවුරුවත් වී අළෙවි මණ්ඩලයට වී ගෙනිහින් දෙන්නේ නැහැ. ඔවුන්ගේ කමතටම ඇවිල්ලා වී මැනගෙන යනවා. වී විකුණා ගන්න ඉස්සර කොච්චර අමාරු වුණාද කියලා. ඒ අතින් ගොවියාට, කුඩා තේ වතු හිමියාට අද වඩා හොඳ ආදායමක් ලැබෙන පරිසරයක් අප විසින් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ අභිප්‍රායයන් රාශියක් ඉෂ්ට කරන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. එසේ අභිප්‍රායයන් රාශියක් ඉටු කරන ගමන් අපේ රජය දැවැන්ත සංවර්ධනයක් ඇති කරමින් යනවා. ග්‍රාමීය සංවර්ධනය සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 20,000ක් වෙන් කරලා තිබෙනවා. බොහෝ විට දැන් අපි ලොකු පාරවල්වලට කාපට් දාලා හදලා ඉවරයි. තව ටිකයි ඉතිරි වෙලා තිබෙන්නේ. නමුත් කාපට් දැමිය යුතු, කොන්ක්‍රිට් කළ යුතු පාරවල් ගමේ තවත් ඇති. අපට එන අවුරුද්දේදී ඒ කටයුත්තත් ඉෂ්ට කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා. හැබැයි, ජනතාව දැන් කොන්ක්‍රිට් පාරවල් නොවෙයි ඉල්ලන්නේ. ඔක්කෝම ඉල්ලන්නේ කාපට් පාරවල්. ජනතාවගේ ජීවන තත්ත්වය හා සිතීමේ රටාව අපි එවැනි උච්ච ස්ථානයකට ගෙනැල්ලා තිබෙනවා.


    ඒ නිසා මෙවැනි අය වැය ලේඛනයක් ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවට සහන සැලසීමට ලැබීම පිළිබඳ ව අපි ඉතාම ආඩම්බර වෙනවා. එමෙන්ම දීර්ඝ කාලීන සක්‍රීය හා ප්‍රායෝගික ආර්ථික වැඩ පිළිවෙළක් තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යෑමට පුළුවන්ය කියන මතය වඩාත් ශක්තිමත්ව ඉදිරිපත් කිරීමට පුළුවන් වීම ගැන අපේ අතිගරු ජනාධිපතිතුමාට, විශේෂයෙන්ම පී.බී. ජයසුන්දර මැතිතුමා ඇතුළු මහා භාණ්ඩාගාරයේ නිලධාරින්ට අපේ ස්තුතිය පුද කරමින් මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya