මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්තාපල් බීජ ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කළා

    අගෝස්තු 16, 2014
    පසුගිය වසර කිහිපය තුළ අර්තාපල් බීජ ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ලාංකීය බීජ අර්තාපල් ගොවීන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

    එම වැඩසටහන් මල්ඵල ගන්වමින් බීජ අර්තාපල් ක්ෂේත‍්‍රය තුළ පෙර නො වූ විපර්යාසයන් රැසක් සියැසින් දැක ගැනීමට වර්තමානය වන විට ලාංකීය බීජ අර්තාපල් ගොවීන්ට අවස්ථාව උදා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    වර්තමානයේ මෙරට නිෂ්පාදනය කරනු ලබන බීජ කිලෝ ග‍්‍රෑම් 50ක් රුපියල් 8500ක් හෝ රුපියල් 9000ක මුදලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලාංකීය ජනතාවට ලබාදෙන අතර ආනයනික බීජ අර්තාපල් කිලෝ ග‍්‍රෑම් 50ක් මිල දී ගැනීමට රුපියල් 13,500ක පමණ අධික මුදලක් වැය කිරීමට ලාංකීය ගොවි ජනතාවට සිදු වේ. ස්වයං බීජ නිෂ්පාදනයට ලාංකීය බීජ අර්තාපල් ගොවීන් යොමු වීම තුළින් බීජ කිලෝ ග‍්‍රෑම් 50ක් නිෂ්පාදනය සඳහා වැය කළ යුතු වන්නේ රුපියල් 4000ක පමණ අවම මුදලකි. 

    පසුගිය කාලයේ රජයේ ගොවිපොළවල සිටුවීමට බීජ අර්තාපල් යුරෝපා රටවලින් ආනයනය කළ අතර ඒවා ගුණනය කළ හැක්කේ එක් වරක් හෝ දෙවරක් පමණි. වාර්ෂිකව මූලික බීජ අර්තාපල් ආනයනයට විශාල විදේශ විනිමයක් දැරීමට පසුගිය කාලය තුළ සිදු වුණ ද වර්තමානය වන විට බණ්ඩාරවෙල හා සීතාඑළිය පර්යේෂණ ආයතන මඟින් මූලික බීජ නිපදවා ගැනීමට හැකියාව උදා වීම කෘෂි ක්ෂේත‍්‍රය ලද දැවැන්ත ජයග‍්‍රහණයකි.

    ආනයනික බීජ අර්තාපල් ගොවීන්ට ලබා දීමේ දී හයවැනි හත්වැනි පරම්පරාවේ බීජ ගොවීන් වෙත ලැබෙන අතර G0 බීජ අර්තාපල් තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම තුළින් වාසි රැසක් හිමිකර ගැනීමට හැකියාව උදා වී ඇත. G0 බීජ අර්තාපල් තාක්ෂණය තුළින් පළමු දෙවන තෙවන පරම්පරාවල බීජ ගොවීන්ට භාවිතයට ගැනීමට හැකි වූ අතර ගුණාත්මක බිජ අර්තාපල් ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇත. මෑත කාලයේ දී ඇති කළ කෘත‍්‍රිම රෝපණ මාධ්‍යයේ බඳුන් තුළ හා ආරක්ෂිත ගෘහ තුළ වගාව, ජල රෝපිත හා වායුගත රෝපණ තාක්ෂණය නිසා පෙර මූලික බීජ විශාල ප‍්‍රමාණයක් අඩු වියදමකින් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව උදා වූයේ තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ඇති වූ දියුණුවත් සමඟය.

    2011 වර්ෂයේ ආරම්භ කළ මීපිළිමාන බීජ නිෂ්පාදන ගම්මානයේ ගොවීන්ට 50%ක දායකත්වය යටතේ පෙර මූලික බීජ ලබා දුන් අතර වර්තමානයේ දී එම ගොවි මහතුන් අවාරයේ වගාව සිදු කිරීමට යොමු වී ඇත. යල කන්නය සඳහා අවශ්‍ය බීජ අඩු මිලට නිෂ්පාදනය කර ගැනීම හා ගොවීන් අතර බීජ හුවමාරු කර ගැනීමට ගොවි මහතුන් යොමු වීම තුළින් බීජ හෙක්ටයාරයක් සඳහා ගොවීන්ට වැය කිරීමට සිදු වී ඇත්තේ රුපියල් 3500ක් වැනි අවම මිල ප‍්‍රමාණයකි. 2009 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට ලබා දෙන ලද සහතික කළ බීජ ප‍්‍රමාණය මෙට්රික් ටොන් 280ක් වූ අතර 2013 වර්ෂය වන විට එය මෙට්රික් ටොන් 441 දක්වා ඉහළ ගොස් ඇත. 

    2007 සිට 2013 දක්වා කාලසීමාව දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ පුද්ගලික බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ යෑමද මෙහිදී දැකිය හැකිය. 2005 වර්ෂයේ දී ආනයනික බීජ අර්තාපල් ප‍්‍රමාණය මෙට්රික් ටොන් 5718ක් පමණ වූ අතර 2013 වර්ෂය වන විට එය මෙට්රික් ටොන් 1325 දක්වා අඩු වීමක් දැකිය හැකිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට අවශ්‍ය G0 අර්තාපල් ලබා දීම නිසා ගුණාත්මක බීජ භාවිතය වැඩි වී ඇති අතර ස්වයං බීජ නිෂ්පාදන මිල පහළ ගොස් ඇත. 

    2009 වර්ෂයේ දී පාරිභෝගික අර්තාපල් වගා වපසරිය හෙක්ටයාර් 4139ක් වූ අතර 2013 වර්ෂය වන විට එය හෙක්ටයාර් 4616 දක්වා ඉහළ ගොස් ඇත. 2009 වසරේ දේශීය අර්තාපල් නිෂ්පාදනය මෙට්රික් ටොන් 61705ක් වූ අතර 2013 වසර වන විට එය මෙට්රික් ටොන් 89940 දක්වා වර්ධනය වී ඇත. හෙක්ටයාරයකට මෙට්රික් ටොන් 14.9ක් වූ නිෂ්පාදන ඵලදායීතාව 2013 වසර වන විට 19.5ක් දක්වා වැඩිවීම බීජ අර්තාපල් ක්ෂේත‍්‍රය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ලද ජයග‍්‍රහණයකි.

    මේ අතර බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ ආරක්ෂිත ගෘහ 3ක් ආශ‍්‍රයෙන් G0 බීජ අර්තාපල් වාර්ෂිකව ලක්ෂයක් පමණ නිපදවා ගැනීමට හැකිවීම හා ගුණාත්මක බීජ අර්තාපල් භාවිතය ඉහළ යාම, බීජ සඳහා වන වියදම අවම කර ගැනීමට හැකි වීම බීජ අර්තාපල් ක්ෂේත‍්‍රයේ ඇති වූ දැවැන්ත විපර්යාසයකි. නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ ද ආරක්ෂිත ගෘහ 5ක් ආශ‍්‍රයෙන් G0 බීජ අර්තාපල් ලක්ෂයක් පමණ නිපදවා ගොවීන් අතර හුවමාරු කර ගැනීම නිසා ගුණාත්මක බීජ සුලබතාව ඉහළයාම හා නිෂ්පාදන වියදම අවම කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. වර්තමානය වන විට උතුරු ප‍්‍රදේශයට අවශ්‍ය කරන රතු පැහැති බීජ අර්තාපල් නිෂ්පාදනයට හැකිවීම ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


    වර්තමාන රජය විසින් බීජ අර්තාපල් ගොවීන් දිරි ගැන්වීමේ අරමුණින් පාරිභෝගික අර්තාපල් මිලදී ගැනීම සඳහා රුපියල් 80ක සහතික මිලක් නියම කර ඇති අතර බීජ අර්තාපල් මිලදී ගැනීමට රුපියල් 160ක මිලක් නියම කිරීමට යොමු වීම බීජ අර්තාපල් ගොවීන් වෙනුවෙන් ගත් සහනශීලී ක‍්‍රියාමාර්ගයකි. බීජ අර්තාපල් නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩසටහන්වලට අමතරව ගොවිපොළ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත. 

    නුවරඑළිය කලාපයේ බීජ ගොවිපොළවල ජල සම්පාදනය, නව ජලාශ ඉදිකිරීම හා නඩත්තු කිරීම, ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීම වැනි යටිතල පහසුකම් හා ඉඩම් සංවර්ධන කටයුතු සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. ගොවි සංවිධාන මඟින් බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීම සඳහා උදාහරණ ලෙස කුඩා ඔය බීජ නිෂ්පාදන ගම්මානය පිහිටුවීම සඳහන් කළ හැකිය. 

    2004 වසරේ සිට මේ දක්වා බීජ අර්තාපල් ක්ෂේත‍්‍රයේ වගා වපසරිය, නිෂ්පාදන ප‍්‍රමාණය, නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීම, ආනයනික බීජ අර්තාපල් ප‍්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒම හා ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීමට හැකි වීම කෘෂිකර්ම අමාත්‍යාංශය ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. බීජ අර්තාපල් ගොවීන්ගේ සුබසිද්ධිය සඳහා අනාගතයේ දී නව යෝජනා ක‍්‍රියාවට නංවමින් මෙම වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු රැසක් ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මේ පිළිබඳ අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

    NDH

    01

     

     

    03

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya