අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂෙෆීල්ද් බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් සැමරුම

    ජූලි 19, 2014

    පොසොන් පොහොය ලාංකේයන්ට වැදගත් සංධිස්ථානයක් වුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හා ධර්මදූත පිරිවරගේ ලංකාගමනය සමඟ දායාද වු උතුම් නිර්මල බුදු දහම නිසාවෙනි. එය කෙතරම්ද යත් මිහිඳු හිමියන් අනුබුදුහිමි ලෙසින් ව්‍යවහාර කරමින් ලක් දෙරණේ නිර්මල බුදු දහම දිවි හිමියෙන් මේ තාක් කාලයක් රැකගත් හෙයිනි.


    අපගේ බොද්ධ සිරිත් විරිත් ඉදිරි පරම්පරාවට දායාද කිරීම අරමුණු කර ගනිමින්, ලංකාවෙන් ඉතා දුර බැහැරව එක්සත් රාජධානියේ ෂෙෆීල්ද්හි ජීවත් වන (Sheffield) ශ්‍රී ලාංකීය සැදහැවතුන් තෙවන වරටත් සංවිධනය කරන ලද පොසොන් සැමරුම මෙවරත් ෂෙෆීල්ද් හා ඒ අවට වෙසෙන බැතිමතුන් රැසකගේ දායකත්වයෙන් හා මැන්චෙස්ටර් (Manchester) කේතුමතී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පසුගිය ජූලි 05 වැනි සෙනසුරාදා ෂෙෆීල්ද් බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


    Sheffield පුරවරයේ ඉතා නිශ්කලංක ප්‍රදේශයක පිහිටි මෙම බොද්ධ මධ්‍යස්ථාන පැමිණෙන්නන්ගේ මහත් ආකර්ෂණයට පාත්‍ර වූ බෞද්ධාගමික පූජනීය ස්ථානයක් වේ. පොසොන් සැමරුම නිමිත්තෙන් එහි ප්‍රධාන ශාලාවේ පසෙක අම්බස්තල අනුරුව දැකුම්කළුව නිමවා තිබිණි. මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස කුලුනු නෙතු අරා වැඩ සිටින ආකාරය ද, දොහොත් මුදුන් දී වැඳගත් දේවානම් පියතිස්ස රජතුමා ද මරණයෙන් ගැලවුණු මුව පොව්වාගේ දසුන ද සැදැහැවතුන්ගේ හිත් තුළ බොදු බැතියෙන් පුරවාලීය. කුඩා දරුවන් විසින් අලංකාර කරන ලද පහන් කූඩු දසත ලෙලදෙමින් පිං බිමට අසිරිමත් දසුනක් එක් කර තිබිණි. සුමාල්, කෙවින් ඇතුළු තරුණ කැල ලහිලහියේ සැරසිලි හා අනෙකුත් කටයුතු සංවිධානය කළහ.


    මෙවර පොසොන් උළෙලට Manchester සිට වැඩම වූ කේතුමතී විහාරයේ විහාරාධිපති පූජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස නායක හිමි, අනුරාධපුර කටුකැලියාව භික්ෂු පුහුණු මධ්‍යස්ථානවාසී පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, කේතුමති විහාරස්ථානවාසී පූජ්‍ය ගල්පොත්තයායේ පේමානන්ද හිමි, පූජ්‍ය ගල්පොත්තයායේ සීවලී හිමි යන ගරු ස්වාමීන්වහන්සේලා පැමිණ සිටි පිරිස තෙරුවන් පිහිටුවීමෙන් හා බුද්ධ ‍පූජා, මල් පහන් පූජා කොට ආගමික වතාවත්වල නිරත කර වූහ. මහාසංඝරත්නය විෂයෙහි සාංඝික දානයක් ද පිළිගැන්විණි. දානය සංවිධාන කටයුතු කිරීමට මූලික වු ශාන්තා ලියනගේ හා මංගලිකා ජයවර්ධන මහත්මියන් ගේ මහගු පරිශ්‍රමය අගය කළ යුතුය.


    ඉන් අනතුරුව අනුරධපුර කටුකැලියාව භික්ෂු පුහුණු මධ්‍යස්ථානවාසී පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි විසින් ධර්මදේශනාවක් පවත්වා සෙත් පිරිත් සජ්ඣායනාවක් ද සිදු කරන ලදී.


    සෙනුරී හා ෂෙහාන් තිත්තගල යන දරුවන් නාට්‍යමය ආරකින් පොසොන් පුරාවත එළි දැක්වූහ. අනතුරුව බැති ගී සරණිය ආරම්භ වුයේ හසීනි ලියනගේ, සදලි රොඩ්රිගෝ, ජයනි විජේකෝන් හා හේෂදු රණවක යන සිඟිත්තන්ගේ කන්කළු ගායනයකිනි. ලංකාවෙන් බැහැරව ජීවත් වුවද, දෙමාපිය අභාෂය තුළින් ලත් මේ දරුවන්ගේ සහජ හැකියාව පැමිණ සිටි බැතිමතුන් පුදුමයට පත් කෙරුණේ අපගේ උරුමය අනාගතයට දායාද වන සලකුණුවල පෙරනිමිත්තක් පසක් කරවමිනි.


    මෙවර බැති ගී සරණියට ෂෙෆීල්ද්හි තරුණයන් විසින්ම නිර්මාණය කරන ලද නව ගීත තුනක් ද අයත් විය. “වීතරාගී බුදුපියානණි” ගීතයට සංගීතය හා පද රචනයේන් ලයාන් ආසිරි බණ්ඩාර විජේකෝන්ද, කොළඹ මියුසියස් විදුහලේ ඉගනුම ලබන මද්‍රි පෙරමුණුගම විසින් රචිත “පෙරදින වෙසඟේ” ගීතයද, Cranfield විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන බුද්ධී මනුරංග විසින් රචිත “සදහම් සිසිල” යන ගීතයන්ට සංගීත සංකලනයෙන් සුමාල් කේෂව හා ලයාන් ආසිරි බන්ඩාර විජේකෝන් දායක වී තිබිණ. අමතර සංගීත උපකරණ හා උපදෙස් සැපයීමෙන් ජේම්ස් ජයවර්ධන සහය විණි. පොසොන් බැති ගී ගායනයට පානිනී රොද්රිගො, සාන්තා ලියනගේ, නිදර්ශා විජේකොන්, වින්ද්‍යා සෙව්වන්දී, ශිරෝමි අපොන්සු, මංගලිකා ජයවර්ධන, සුමාල් කේෂව හා Stoke on Trent සිට පැමිණි දුලීප ජයසුන්දර, දුස්මන්ත හේනානායක, මිථිල වනසිංහ, කුමුදුනි ජයසුන්දර එක් වූහ.

    Sheffield නගරයෙන් දුරස්ව පිහි‍ටි ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි පැමිණ සිටි සේපාල රත්නායක මහතා මෙවැනි උත්සව සංවිධානය කිරීමේ වැදගත්කම හා බොද්ධ සමාජ චාරිත්‍ර අනාගත පරපුරට දායාද කිරීමේ අගය පවසමින් කෙටි දේශනයක් පවත් වන ලදී. Sheffield නගරයේ කවුන්සලය නියෝජනය කරමින් පැමිණි Sarah Jane Smalley මහත්මිය, මෙම උත්සවය සතුටින් රස විඳි බවත් ලංකාවේ බොද්ධ සංස්කෘතිය ගැන ආඩම්බර වන බවත් පැවසුවාය. සිය කථිකත්වයේ හසළ බව විදහාපාමින් ස්තූති කතාව සිදු කළේ හසිඳු පුතුය.


    මෙවර පොසොන් උළෙල වෙනුවෙන් බත් දන්සැලක් ද පැවැත්විණි. මව්බිමේ ආහාරවල රසයෙන් නිර්මාංශ දානයක් ලෙස සකසා තිබූ බත් දන්සලට ෂෙෆීල්ද් හි වෙසෙන දායකයින්ගේ ඉතා නොමසුරු දායකත්වය ලබාදී තිබුණි. රංග තේනුවර, පානිනී, ෂිරෝමි රොද්‍රිගෝ, ජයන්ති, මංගලිකා, ගයාත්‍රී, සෙව්වන්දි, කුමුදිතා, උදය, කාවින්දී, මහේෂ්, අයොමි, අචිනි, තිරුනී, දිනේෂ්, මිනෝෂා, කසුන්, චරිත් යන පිංවතුන් එයට දායක වූහ.


    මේ උත්සවය සඳහා ලන්ඩන්, ලිවර්පූල්, ලීඩ්ස්, මැන්චෙස්ටර්, Stok on Trent හා නන් දෙසින් පැමිණ සිටි බොදු බැතිමත්හු එය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දැක් වූහ. ෂෙෆීල්ද් බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර පොසොන් උළෙල ඉතා සාර්ථකව අවසන් වූයේ පුරා දින ගණනාවක් ඉතා පරිශ්‍රමයකින් වෙහෙස මහන්සිය නොතකා මෙම වැඩසටහන සංවිධානය කළ සියලු ෂෙෆීල්ද් වාසීන්ගේ විඩාව; පොසොන් පුන්සඳ මුදුන් වී විහිදන ආලෝකයෙන් ඝන අන්ධකාරය පහව යන්නාක් මෙන් යටපත් කරමිනි.


    HC

    POSON  Sheffield 1

    POSON  Sheffield 2

    POSON  Sheffield 3

    POSON  Sheffield 4

    POSON  Sheffield 5

     

    More Photos Click here : https://www.facebook.com/media/set/?set=oa.659520660802625&type=1


    More Videos: Click here; http://www.youtube.com/playlist?list=PL04LfcXssKjRkKTWXfU2JgBJVC9Jpb97t

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya